නුදුරේ දී ම ඉන්දීය හමුදා පාකිස්තානය ආක්‍රමණය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් මහතා පවසනවා.
ඊයේ (29) රොයිටර්ස් පුවත් සේවය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවේ දී අසිෆ් මහතා කියා සිටියේ, පසුගිය සතියේ කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසුව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රටවල් දෙක අතර මේ වන විට දැඩි දේශපාලනික ආතතීන් උත්සන්න වී ඇති බවයි.
එබැවින් නුදුරේ දීම පාකිස්තාන නගර ඉන්දීය හමුදා ආක්‍රමණය කරනු ඇති බවට විශ්වාස කෙරෙන බව ද ආරක්ෂක අමාත්‍ය අසීෆ් මහතා කියා සිටියා.
ජම්මු – කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කරගෙන පාකිස්තානයේ ක්‍රියාත්මක වන ත්‍රස්ත සංවිධානයක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ අතර එහිදී 26 දෙනෙකු මියගියා.
ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර බහුතරයක් හින්දූන් බවයි වාර්තා වන්නේ.
පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය අසීෆ් මහතා වැඩිදුරටත් පැවසුවේ මෙවැන්නක්;
“අපි අපේ හමුදා ශක්තිමත් කර තිබෙනවා, මොකද ඒක ළඟදීම වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ තත්ත්වය තුළ උපායමාර්ගික තීරණ කිහිපයක් ගත යුතුයි, ඒ නිසා ඒ තීරණ අරගෙන තියෙනවා” යනුවෙන්.
මේ අතර ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාවෙන් හමුදා ප්‍රහාරයක් දියත් වීමට ඉඩ ඇති බවට ඉස්ලාමාබාද් වෙත විශ්වාසදායක බුද්ධි තොරතුරු ඇති බව පකිස්තාන තොරතුරු සහ විකාශන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ අද (30) අලුයම තැබූ සටහනකින් පකිස්තාන තොරතුරු සහ විකාශන අමාත්‍ය අතාවුල්ලා ටාර් චෝදනා කළේ සංචාරකයන් 26 දෙනෙකුට මරු කැඳවූ පහල්ගම් ප්‍රහාරය, පකිස්තානයට පහර දීම සඳහා ඉන්දියාව හේතුවක් ලෙස යොදාගැනීමට සූදානම් වන බවයි.
තම ප්‍රකාශයට හේතු වූ කිසිදු නිශ්චිත තොරතුරක් අමාත්‍යවරයා ලබා දී තිබුණේ නැහැ.
කෙසේවෙතත් චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය රජය වහාම ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දක්වා නොතිබීම විශේෂත්වයක්.
“ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. කලාපයේ සිදුවන ඕනෑම බරපතළ ප්‍රතිවිපාක සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වගකිව යුතුය,” ලෙසයි අමාත්‍ය ටාර් X හි තැබූ සටහනේ සඳහන් කර ඇත්තේ.
අප්‍රේල් 22 වැනි දින පහල්ගම් කඳුකර නිකේතනයේ සිදු වූ ප්‍රහාරයට පාකිස්ථාන බලවේග සම්බන්ධ බවට ඉන්දියාව ප්‍රකාශ කිරීමෙන් පසු දෙරට අතර ආතතීන් ඉහළ යමින් තිබේ.
දශක දෙකකට වැඩි කාලයක් තුළ ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සංචාරකයන්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරය මෙය වූ අතර, ප්‍රහාරකයන් අල්ලා ගන්නා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පොරොන්දු වී තිබෙනවා.
පකිස්තානය පදනම් කරගත් ලෂ්කර්-ඊ-තායිබා සංවිධානයේ ශාඛාවක් ලෙස සැළකෙන ද රෙසිස්ටන්ස් ෆ්රන්ට් (TRF) යන සංවිධානය නමින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණා.
සිදුවූ දෙයට තම රටේ සම්බන්ධයක් නොමැති බව ඉස්ලාමාබාදය සඳහන් කර ඇති අතර මධ්‍යස්ථ පරීක්ෂණයක් ද ඉල්ලා සිටිනවා.
ප්‍රහාරයෙන් පසු, වීසා අවලංගු කිරීම් සහ ඉන්දියානු ගුවන් සේවා සඳහා පාකිස්ථාන ගුවන් අවකාශය වසා දැමීම ඇතුළුව දෙරට එකිනෙකාට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර රැසක් දියත් කර තිබෙනවා.
ඉන්දියාව ඉන්දු ගඟෙන් සහ එහි අතු ගංගාවලින් දෙරට අතර ජලය බෙදා ගැනීම නියාමනය කරන ඉන්දු ජල ගිවිසුමට සහභාගී වීම ද අත්හිටුවා තිබෙනවා.
මෙම පියවර පාකිස්තානයේ විරෝධතා ඇති කළ අතර, නවදිල්ලියේ තීරණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පකිස්ථාන රජය පවසා තිබුණා.
කාශ්මීරයේ ඉන්දියානු සහ පකිස්තාන පාලිත ප්‍රදේශ වෙන් කරන කිලෝමීටර් 740 තථ්‍ය දේශසීමාව වන පාලන රේඛාව දිගේ ද වෙඩි හුවමාරුවක් සිදුවී ඇති බවයි පැවසෙන්නේ.
එක්සත් ජනපදය දෙරටෙන් ඉල්ලා සිටියේ වගකිවයුතු විසඳුමක් සඳහා කටයුතු කරන ලෙසයි.
“අපි දෙපාර්ශවයටම ප්‍රකාශ කළේ තත්ත්වය උත්සන්න නොකරන ලෙසයි,” යනුවෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් වාර්තාකරුවන්ට පැවැසුවා.
රුබියෝ ඉන්දියාවේ සහ පකිස්ථානයේ විදේශ අමාත්‍යවරුන් සමඟ කතා කරන බවත් අනෙකුත් විදේශ අමාත්‍යවරුන් ද එසේ කිරීමට දිරිමත් කරන බවත් ප්‍රකාශකයා සඳහන් කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පැවසුවේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් සමඟ කතා කළ අතර ඛේදජනක ප්‍රතිවිපාකවලට තුඩු දිය හැකි ගැටුමක් වළක්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බවයි.