බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී නැමැත්තා ලංකාවට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම බෙලරූස් රාජ්‍යය පිළිගෙන ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එම අපරාධකරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බෙලරූස් රාජ්‍යයෙන් ඉදිරි දින කිහිපය තුළදී ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.
කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී සමඟ රොටුඹ අමිල නැමැත්තාද අත්අඩංගුවට ගෙන බෙලරූස් රාජ්‍යයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින බවට වාර්තා වනවා.
ඒ, නීති විරෝධී ලෙස එරටට සංක්‍රමණය වීමේ චෝදනා මතයි.
ඔවුන් බෙලරූස් රාජ්‍යයට ඇතුළු වීම සඳහා ඉදිරිපත් කර ඇති ගමන් බලපත්‍ර සහ වීසා ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.
එම අපරාධකරුවන් යලි ලංකාවට පිටුවහල් කිරීමට බෙලරූස් රජය අනුමැති ලබා දුන්නහොත් පැය 24ක් ඇතුළත ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තනේතුව කටයුතු යොදා ඇත්තේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව සහ බෙලරූස් රාජ්‍ය අතර ජාත්‍යන්තර සබඳතා නොමැති බැවින් එම කටයුතු සිදුවන ආකාරය කෙසේද යන්න මෙතෙක් නිෂ්චිතව තීරණය වී නොමැති බව සඳහන් වනවා.
ලොකු පැටී නැමැත්තා රතු වරෙන්තු නිකුත් කර ඇති අපරාධකරුවෙකු වන අතර කංජිපානි ඉම්රාන්ට මීට පෙර නිකුත් කර තිබූ රතු වරෙන්තුවක් අවලංගු වී තිබුණා.
ඒ ඊට අදාළ නඩුවකින් ඔහු නිදහස් වීම හේතුවෙන්.
කෙසේවෙතත් කංජිපානි ඉම්රාන් බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමට දින දෙකකට පමණ පෙර ඔහුට එරෙහිව නැවත වරක් රතු වරෙන්තුවක් නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.