Latest News

දිනුලිත් එක්ක ට්‍රිප් එක පාන්දරින් යං

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අලුත් ළමා ගීතයක් මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ගීතය බවට පත් වෙලා. එහෙම කිවු්වොත් වැරදිත් නැහැ. ඒ මේ දවස්වල YouTube එකේ උඩට පහළට යන කොට කොයි වෙළෙත් මේ ගීතය හමුවන නිසා. පාන්දරින්ම යන ‘ට්‍රිප්‘ එකක් ගැන කියන ගීතය ලස්සනට ගායනා කරන්නේ ළමා ගායිකාවක්. හුරුබුහුටි දැරියක වන ඇය දිනුලි දම්සඳි. ඇගේ තොරතුරු දැන ගැනිමේ අපේක්ෂාවෙන් දිනුලි සමඟ කළ කතාබහයි මේ…

දිනුලිගේ ට්‍රිප් එකේ ගීතය මේ දවස්වල ලංකාවේ ගොඩක් ජනප්‍රිය වෙලා නේද ? ඒ ගැන අපි මුලින්ම කතා කරමු.

ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා සතුටුයි. පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චිගේ මාමාගේ. ලංකාවේ මෑත කාලේ ජනප්‍රිය වුණු ගීත කිහිපයකම පද රචනය කළේ ලසිත මාමා. සංගීතය, තනු නිර්මාණය ඩිල්ෂාන් එල්.සිල්වා අයියා , වීඩියෝ එක නිර්මාණය කළේ චාරුක දුෂ්‍යන්ත මාමා. ට්‍රිප් එකක් ගැන කියන ගීතයක් කරමු කියන අදහස ලසිත මාමාගේ. මේ ගීතය නිර්මාණය වෙන්න අවුරුදු එකහමාරක විතර කාලයක් ගියා.

මේ ගීතයේ රූප රචනාවත් හරිම ආකර්ෂණීයයි. කොහොමද මෙච්චර ලස්සනට විඩියෝ එකක් හැදුවේ ?

ගීතයේ තියෙන පදවලට සමාන විදියේ වීඩියෝ එකක් කරන්න ගියොත් ගොඩක් ලොකු වියදමක් වගේම ඒක ගොඩක් දුෂ්කර වැඩක් වෙන නිසා ඊට වඩා සරලව ලස්සනට මේක හදන්නේ කොහොමද කියලා චාරුක මාමා ඇතුළු පිරිස කල්පනා කළා. කස්තුරි මාමා, මාතර නැන්දා, ලොකු අම්මා වගේ චරිත කිහිපයක් ගැන ගීතයෙන් කියන නිසා ඒ චරිත ප්‍රේක්ෂකයට තවත් හොඳින් දැනෙන්න ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙක් සම්බන්ධ කර ගත්තා. ළමා රංගන ශිල්පිනි ට්‍රිනිටි නංගිත් ගීතයට නර්තනයෙන් සම්බන්ධ වුණා. සම්පූර්ණ වීඩියෝ එකම එක දවසින් රූගත කරන්න අපිට පුළුවන් වුණා. කොළඹ අවට තමයි රූගත කිරීම් කළේ.

මේ ගීතයට කලින් දිනුලි ඔයාගෙම ගීත නිර්මාණය කරලා තියෙනවද ?

ඔව් ගීත හය හතක් විතර මගේ නිර්මාණ විදිහට තියෙනවා. “නිසසල රෑ” තමයි මගේ පළමුවෙනි ගීතය. මගේ ගායන හැකියාව අඳුන ගත්ත කීප දෙනෙකුගෙන් තෑගි විදියට ලැබුණු ගීත තමයි ගොඩක්ම තියෙන්නේ. මුදිත් ද සිල්වා මාමා ඒ විදිහට ගීත කිහිපයක් මං වෙනුවෙන් නිර්මාණය කළා. කැම්පනේ සිරි අනුරුද්ධ ස්වාමීන් වහන්සේ, මිලාන් චාමින්ද,තිළිණ රුහුණගේ, බණ්ඩාර කුමාරනායක, කරුණාරත්න විජේවර්ධන මාමලා ඒ ගීත නිර්මාණය කරන්න දායක වුණා. හබරත්තවල සුබෝධි ස්වාමීන් වහන්සේ මට පත්තිනි ගීතය පද රචනා කරලා දුන්නා. ඒ හැම ගීතයක්ම ළමා ගීත.

ඔයාගේ අධ්‍යාපන කටයුතු ගැනත් අපි කැමතියි දැන ගන්න.

මම ඉගෙන ගන්නේ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ හය ශ්‍රේණියේ. පාසලේ විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය, යාළුවෝ හැමෝම මේ ගීතය නරඹලා ලොකු අගය කිරීමක් මට ලබා දුන්නා. ඒ හැමෝම මගේ ගායන කටයුතුවලට උපරිම සහාය ලබා දෙනවා. පාසලේදී මම විෂයයක් විදිහට සංගීතය ඉගෙන ගන්නවා.

දිනුලි සංගීත ක්ෂේත්‍රයට ආපු ගමන්මඟ ගැන මතක් කරමු නේද ?

මම මුලින්ම සහභාගි වුණේ දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 9 ගායන තරගාවලියට. එතනදි මම අටවෙනි තැනට ආවා. එතකොට මට වයස අවුරුදු තුනයි. අම්මලා අක්කව තමා ඒ තරගයට සම්බන්ධ කළේ. මාවත් ආසාවට වගේ තමයි අම්මලා ඒකට යොමු කළේ. ඊට පස්සේ සීසන් 11 ට සහභාගි වුණා. ඒ තරගාවලියේදි මම තුන්වෙනි ස්ථානය හිමි කරගත්තා. බුද්ධික දයාරත්න සර් තමයි මට හඬ පුහුණුවීම් කටයුතුවලදී ලොකු සහයෝගයක් ලබා දුන්නේ. ඒ කාලේ ඉඳන් මම මාස කිහිපයකට සැරයක් කවර් සෝන්ග් එකක් කරලා සෝෂල් මීඩීයාවලට දානවා. ඒකෙන් මගේ රසික පිරිස ටික ටික වැඩි වුණා.

දිනුලිගේ පවුලේ ඉන්නේ කවුද ?

තාත්තයි, අම්මයි, අක්කයි මමයි නංගියි. අම්මා සංගීත ගුරුවරියක්. එයා තමයි මට ගීත ගායනා කරන්න පුරුදු පුහුණු කරන්නේ. අක්කටත්, නංගිටත් ගායන හැකියාව තියෙනවා. මම අනාගතයේ වෛද්‍යවරියක් වෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔයාට සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙනවද ?

ඔව්. මට ලිට්ල් ස්ටාර්වලින් පස්සේ සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබුණා. ඒවට සහභාගි වුණා. එළඹෙන අප්‍රේල් මාසෙදිත් ප්‍රසංග කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒවටත් සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. අවුරා ලංකා කොන්සර්ට් එකේ ළමා ගායිකාව විදිහට දිගටම මම ඒ කොන්සර්ට් එකට සම්බන්ධ වුණා.

දිනුලිට රඟපාන්න ආරාධනා ලැබිලා නැද්ද ?

තියෙනවා. ආරාධනා කිහිපයක් ආවා. ඒත් ඒවා භාර ගත්තේ නෑ. මම කැමති සංගීත අංශයෙන් මගේ කලා හැකියාව පෙන්වන්න.

මගේ හැම ගීතයක්ම Dinuli Damsandi music YouTube චැනල් එකෙන් නරඹන්න පුළුවන්. මගේ අලුත් ගීතයට සුබ පතන හැමෝම මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරන අතරම ඉදිරියටත් මගේ ගීත නිර්මාණ එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා.

World News

Send your contact Details Today