ඇමරිකාවේ ෆ්ලොරිඩාහි දරුවන් තිදෙනෙකුගේ මවක් වන, 2014 දී අතුරුදහන් වූ යෙකටෙරිනා “කට්යා” බෙලායා (Yekaterina “Katya” Belaya)ගේ මෘත දේහය පසුගිය සතියේ ජලයට යට වී තිබූ රථයකින් සොයාගැනීමත් සමඟ දශකයක් පුරා පැවති ඇයගේ අතුරුදහන් වීමේ අභිරහස නිමාවට පත්වුණා.
අතුරුදහන් වන විට වයස අවුරුදු 36ක් වූ බෙලායා අවසන් වරට දකින ලද්දේ 2014 දෙසැම්බර් 2 වන දින උදෑසන ඇයගේ නිවසින් පිටත්ව යන අවස්ථාවේදීයි.
Fox, CBS සහ NBC රූපවාහිනී නාලිකා වාර්තා කළ ආකාරයට, ඇය ප්‍රදේශයේ වෙළඳසැලකට යන බව පවුලේ අයට පවසා ගොස් ඇති නමුත් නැවත පැමිණ නැහැ.
වසර ගණනාවක් තිස්සේ සිදු කළ බොහෝ සෝදිසි කිරීම් හා තොරතුරු මගින් කිසිදු පිළිතුරක් නොලැබී මෙම සංසිද්ධිය විසඳා නොමැතිව පැවතුණා.
කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් 20 වන දින, Sunshine State Sonar හි සෝනාර් විශේෂඥ කණ්ඩායමක් සුවිශේෂී සොයාගැනීමක් කළා.
ජලයට යට වූ වාහන සෙවීමේ විශේෂඥයින් වන මෙම සමාගම, මෙල්බර්න් හි ඇයගේ නිවසින් සැතපුම් 1.6ක් පමණ දුරින් පිහිටි ජල රැඳවුම් වැවක පෙරළී තිබූ බෙලායාගේ සුදු පැහැති හොන්ඩා ඔඩිසි රථය සොයා ගන්නා ලදී. වාහනය දශකයකට ආසන්න කාලයක් ජලයේ ගිලී තිබී තිබෙනවා..
Sunshine State Sonar Facebook පණිවිඩයක් මගින් මෙම සොයාගැනීම තහවුරු කරමින්, “වසර ගණනාවක් තිස්සේ ඇයගේ අභිරහස්ගත අතුරුදහන් වීම ගැන ශෝක වූ ඇයගේ ආදරණීයයන්ට මෙම සොයාගැනීම යම් සැනසීමක් ගෙන දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු” යැයි පවසා තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ තම මව සොයමින් සිටි බෙලායාගේ දියණියන් විසින් මාර්ගගතව පළ කර තිබූ පණිවිඩ කියවීමෙන් පසු කණ්ඩායම මෙම සිද්ධිය කෙරෙහි අවධානය යොමු කර ඇති බව එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වුණා.
Sunshine State Sonar හි අධිපති මයික් සුලිවන් පැවසූයේ”ඇගේ දියණියන්ගෙන් අපට හද පාරවන පණිවිඩ ලැබුණා, ඒක තමයි අපව මේකට සම්බන්ධ වෙන්න පෙළඹවූයේ,” ලෙසයි. “ඔවුන්ට යම් අවසන් තීරණයක් ලබා දෙන්න අපි ඇත්තටම උදව් කරන්න කැමති වුණා.” ලෙස ද ඔහු සඳහන් කරනවා.
කණ්ඩායම 2024 දෙසැම්බර් 19 වන දින තම පරීක්ෂණ ආරම්භ කර, බෙලායාගේ පවුල හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ සම්බන්ධ වී තොරතුරු රැස් කර තිබෙනවා.
ජංගම දුරකථන සංඥා දත්ත මිනිවෑන් රථය තිබූ ස්ථානය හඳුනා ගැනීමට උපකාරී වූ බවයි සුලිවන් පැවසුවේ.
පෙර සෝදිසි කර තිබූ ජල මූලාශ්‍ර 30කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළුව ප්‍රදේශයේ බොහෝ ජල මූලාශ්‍ර තිබියදී, ඔවුන්ට සාපේක්ෂව ඉක්මනින් වාහනය සොයා ගැනීමට හැකි වුණා.
වීරා බුලවාර්ඩ් අසල ජල රැඳවුම් වැවක වාහනය තිබී සොයා ගන්නා ලද අතර, බ්‍රෙවාර්ඩ් කවුන්ටි ශෙරිෆ් කාර්යාලයට අනුව එය උඩුකුරු වී තිබූ අතර බෙලායාගේ මෘත දේහය එහි තිබී ඇත.
ශෙරිෆ් කාර්යාලය මියගිය තැනැත්තිය බෙලායා බව තහවුරු කරමින් ඇගේ පවුලට යම් සැනසීමක් ලබා දී තිබෙනවා.
බෙලායාගේ මරණය පිළිබඳ පරීක්ෂණ තවමත් සිදු වෙමින් පවතී. බ්‍රෙවාර්ඩ් කවුන්ටි ශෙරිෆ් කාර්යාලයේ නිලධාරීන් පවසන පරිදි, ඇයගේ අතුරුදහන් වීම හා මරණය පිළිබඳ තොරතුරු රැස් කිරීම හා විමර්ශන කටයුතු දිගටම සිදු කෙරෙමින් පවතිනවා.
කිසිදු අපරාධමය ක්‍රියාවක් හෝ මරණයේ හේතුව පිළිබඳ වැඩිදුර විස්තර ශෙරිෆ් කාර්යාලය විසින් හෙළි කර නැති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අත්අඩංගුවට ගැනීමක්ද සිදු කර නැහැ.
වසර දහයක් පුරා බෙලායාගේ පවුල අනිශ්චිතතාවයේ ජීවත් වෙමින්, ඇයගේ අතුරුදන් වීම පැහැදිලි කරන ඕනෑම තොරතුරක් සඳහා බලාපොරොත්තුවෙන් සිට තිබෙනවා.
දැන් තරුණ වැඩිහිටියන් බවට පත්ව සිටින බෙලායාගේ දියණියන්, උදව් ඉල්ලමින් හා තොරතුරු සොයමින් සමාජ මාධ්‍යවල නිතර පළ කිරීම් සිදු කර තිබෙනවා.