ඔපෙරා සංගීත ශානරයේ දස්කම් පාන ඉන්දිකා උපමාලි ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගත් දක්ෂ ගායන ශිල්පිනියකි. ඇයට හිමි සුවිශේෂී හඬ පරාසය ගැන අමුතුවෙන් කිවයුතු ද නොවේ. රාගධාරී, හින්දුස්ථානී, ශාස්ත්‍රීය, වේග රිද්ම ආදී ඕනෑම ශෛලියක ගීත ඇයට අභියෝගයක් නොවන බව ද සැබෑවකි. ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතය ඇසුරේ පරිණත වුණු ඇයට ඔපෙරා සංගීත ශානරය සමඟ ඇත්තේ සුවිශේෂී බැඳීමකි. ගායිකාවක්, රංගන ශිල්පිනියක් මෙන්ම ගුරුවරියක් ද වන ඇය ‘ආර්ට් සවුන්ඩ් ඇකඩමිය‘ හරහා ඔපෙරාවට හිතැති සිසු පිරිසක් බිහිකරමින් සිටීමද අගය කළ යුක්තක්. ඔවුන්ගේ දක්ෂතා අගයනු වස් ‘අඳ ලිහිණි ඔපෙරටා’ නමින් ප්‍රසංගයක් පැවැත්වීමට සූදානමින් සිටින ඇය අප හා කතාබහට එක්වූවා.
ඉන්දිකා උපමාලිට තියෙන්නේ ඔපෙරා සමඟ බැඳුණු ඥාතීත්වයක් කිව්වත් හරි. ලොකු වැඩකට සූදානමින් ඉන්නවා කියලත් ආරංචියි?
ඔව්. ඒක මගේ ඇකඩමියේ ළමුන් සම්බන්ධ කරගෙන කරන ප්‍රසංගයක්. ජනවාරි 25 වැනිදා සවස 6.30ට බිෂොප් ඔඩිටෝරියම් එකේ තියෙන්නේ ‘අඳ ලිහිණි ඔපෙරටා’ නමින්. මෙහි ප්‍රධාන වශයෙන් පාදක කරගෙන තියෙන්නේ ඔපෙරටා (Operetta) කියන සංගීත ශානරය. මේ ප්‍රසංගයේ මූලික අරමුණ වෙන්නේ මගේ ඇකඩමියේ දරුවන්ගේ හැකියාවට අවස්ථාවක් ලබාදීම. එයාලා තමයි මේක තුළ චරිත මවන්නේ. ඔවුන්ගේ ගීතමය, රංගන අංගයන් රැසකින් සමන්විතයි. මේ පැය එකහමාරක කාලය තුළ ඔපෙරටාවල අංග කිහිපයක් ඉදිරිපත් වෙනවා. මගේ ගීත කිහිපයකුත් ගායනා කරනවා. ඊට අමතරව ලංකාවේ ජනප්‍රියම වේදිකා නාට්‍ය ගීත කිහිපයක් ගායනා කෙරෙන්නේ මෙම ශානරයට අනුගත වෙමින් නවතාවයෙන් යුතුව. මේක හැමෝටම අලුත් අත්දැකීමක් වේවි කියලා විශ්වාස කරනවා.
ඔපෙරා ගැන අහල තිබුණට ගොඩක් දෙනා ඔපෙරටා කියන එක අහලා නෑ. මොකක්ද මේ ඔපෙරටා කියන්නේ?
සරලව ගත්තොත් ඔපෙරා කියන්නේ දීර්ඝ ගීත නාට්‍යයක් එහෙම නැත්නම් සංගීත රංගයක්. එතැනදි ලොකු සිම්පනි එකක් ප්ලේ කරනවා වගේම ලොකු කාස්ට් එකක් සම්බන්ධ වෙනවා. ඒක මහා පරිමාණ වැඩක් කිව්වත් හරි. ඔපෙරටා කියන එකෙත් ඔපෙරා ගායන ශෛලියමයි ප්‍රධාන වෙන්නේ. වෙනස ඔපෙරා තරම් විශාල සිම්පනි එකක්වත් කාස්ට් එකක්වත් නෑ. ගීත, රංග තමයි බහුල. ඔපෙරා ගුණයම තියෙනවා. ඔපෙරටා කියන එක ආරම්භ වෙන්නේ ප්‍රංශයේ. ඔපෙරටා බිහිවෙන්න හේතුව වුණෙත් ඔපෙරාම තමයි. අපේ කෝලම්, නාඩගම් රෑ එළිවෙනකන් තිබුණා වගේ මේ ඔපෙරාත් මුල් යුගයේ පැය දෙකහමාර, තුන පෙන්නුවා. සීරියස් ඔපෙරා කියන එකේ තිබුණේ සීරියස් කතා. ඒවායේ බැරෑරුම්කම රසිකත්වයට බාධාවක් කියල හිතුණ නිසා පසුකාලීනව ඒවා ටිකක් ලිහිල් කරලා පොඩි සරල අංග විදිහට ප්‍රේක්ෂකයාට රස විඳින්න සැලැස්සුවා. පොඩි හාස්‍යජනක අංගයන් බවට පත් කරලා නිදහස් වෙලාවට රස විඳින්න සැලැස්සුවා. පසුකාලීනව එය ගායන ශානරයක් බවට වැඩිදියුණු වෙලා තියෙනවා. ඔපෙරා තරම්ම ජනප්‍රිය නැතත් ඔපෙරටා ශානරයත් ලෝකය පිළිගත්ත සංගීත ශානරයක්.
ඔබේ මේ උත්සාහයෙන් යම්තාක් දුරකට කලාව නඩත්තු වීමක් සිදු වෙනවද කියල ඇහුවොත්?
මේකෙන් මං උත්සාහ කළේ මගේ ඇකඩමියේ දරුවන්ගේ දක්ෂතා එළිදක්වන්න. ඔවුන් දීර්ඝ කාලයක් මේ වෙනුවෙන් පුහුණු වුණා. වසස් භේදයකින් තොරව ඔවුන් තුළ විවිධ හැඩතලවල දස්කම් තියෙනවා. අනිත් එක තමයි ලංකාවේ කලාව නඩත්තු කරනව කියන එක ගොඩක් අපහසු දෙයක්. මගේ ගුරුවරු එදා කලාව නඩත්තු කරන්න ගිහින් අත්දැකපු දේම ඊට වඩා දහ ගුණයකින් අද මං අත්විඳිනවා. එහෙම උත්සාහ කරපු බොහෝදෙනා ඒ පීඩනය දරනවා. මේ සමාජය ඇතුළේ ඒකට ඉඩක් නැහැ. හැමෝම හුදෙකලා සටනක තමයි යෙදෙන්නේ.
ජනප්‍රියම තලයේ වේදිකා නාට්‍ය ගීත කිහිපයක් ප්‍රසංගයට ගෙන ඒමෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
ඒක එක්තරා විදිහක පර්යේෂණයක් කිව්වත් හරි. මට හිතෙන විදිහට වේදිකා නාට්‍ය ගීත කියන්නේ එකම ගායන පරාසයක එහෙම නැත්නම් එකම රේන්ජ් එකක තවමත් ඕලාරික හැඩයෙන් පවතින එකක්. ඒකට හේතුව අපි කරන නිර්මාණ අඩු පහසුකම් මත ලඝු වීම වෙන්න පුළුවන්. මෙතැනදි මම උත්සාහ කරන්නේ නිවැරැදි ලෙස හඬ භාවිතයෙන් ගායනයේ තියෙන උසස්ම ක්‍රමවේදයට ළං වුණහම ඒ නාට්‍ය ගීතම වුණත් කොහොමද තව පිම්මක් පනින්නේ කියලා බලන්න.
ඉන්දිකා උපමාලි කියන නම ඔපෙරා එක්ක ගොඩක් බද්ධ වෙලා තිබුණා. කේමදාස මාස්ටර්ගේ හමුවීම සිදුවෙන්නේ කොහොමද?
මගේ මුල්ම ගුරුවරයා වෙන්නෙ මගේ පියා. මං කොළඹ ආනන්ද බාලිකාවට ආවට පස්සේ හමුවන මාලනී ටීචර් තමයි මාව කේමදාස මාස්ටර් ළඟට යොමු කරන්නේ. එතැනදි සංගීතයට අමතරව ඉගෙන ගත්ත දර්ශනය, සංගීත දේශපාලනය වගේ දේවල් යම්කිසි විදිහකට ඔළුවට වැටුණට එදා ඒව බැරෑරුම් විදිහට තේරුණේ නෑ. නිකන් ඔළුවෙ ප්‍රින්ට් වුණා වගේ වුණේ. මං ඒව ඉගෙන ගනිද්දි, අධ්‍යයනය කරද්දි තමයි දැන් නැවත ඒව මතකෙට එන්නෙ. අවුරුදු අටේදි විතර මම මාස්ටර් ළඟට යන්නේ. මගේ ජීවිතේ ලොකුම පරිවර්තනය සිදුවුණේ එතැනදි කිව්වත් හරි.
ඉන්දිකා ක්ෂේත්‍රයට එන්නෙ රංගන ශිල්පිනියක් විදිහට?
ඔව්. ඒක අහම්බෙන් සිදුවුණු දෙයක්. මුලින්ම මං සම්බන්ධ වෙන්නේ තුසිත ජයවර්ධනගේ ධවල කේතු ටෙලි නිර්මාණයට. ඊට පස්සෙත් ටෙලි නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. ඊට අමතරව සිනමාපට වගේම වේදිකා නිර්මාණවලටත් රංගනයෙන් දායක වුණා. රංගනයට මං කොතරම් ආස වුණත් අන්තිමට මං ගායනය තෝරගත්තා. මම දකින විදිහට ගායනය කියන්නෙත් රංගනයේම කොටසක්.
අඳ ලිහිණි ඔපෙරටා කියන්නෙ අලුත් වැඩක්. ඒ සඳහා දායකත්වය ලබාදුන් පිරිස ගැනත් සඳහන් කරමු?
ඔව්. මේක අලුත් අත්දැකීමක්. ඇත්තටම මේ විශාල කර්තව්‍යය යථාර්ථයක් බවට පත්කර ගන්න දායක වුණු මගේ ඇකඩමියේ දරුවන්ගේ මව්පියන් වගේම අඛණ්ඩව පුහුණුවීම්වලට දායක වුණු දරුවන් විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. ඒ වගේම මගේ සහෝදරයන් බඳු යහළුවන් කැළ. පටන් ගත්දා ඉඳන් සියලුම වැඩ කරගන්න ලොකු සහායක් දුන්නා. ඔවුන්ටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.