ලොස් ඇන්ජලීස් හි පැලිසේඩ්ස් ගින්න උග්‍ර වීමත් සමඟ හැරී කුමරු, මෙගන් මාකල් ඔවුන්ගේ ඩොලර් මිලියන 14ක මොන්ටෙසිටෝ මන්දිරයෙන් ඉවත් වීමට සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු කැලිෆෝනියා එඩිසන් හි ප්‍රකාශකයෙකු බදාදා ටෙලිග්‍රාෆ් වෙත පවසා ඇත්තේ යුවළගේ දේපළ “ඉහළ ගිනි අවදානම්” කලාපයක පිහිටා ඇති බවයි.
“ලැව්ගිනි අවදානම ඉහළ යාම” හේතුවෙන් සාන්ත බාබරා කවුන්ටි හි සුඛෝපභෝගී ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීම් සිදු වී තිබෙනවා.
2020 දී රාජකීය රාජකාරිවලින් ඉල්ලා අස්වී බටහිර වෙරළට පැමිණි පසු යුවළ තම දරුවන් දෙදෙනා සමඟ වර්ග අඩි 18,000ක නිවසේ වාසය කරනවා.
මන්දිරයේ නිදන කාමර නවයක් සහ නාන කාමර 16ක් ඇති අතර, පුළුල් පිහිනුම් තටාකයක්, ටෙනිස් පිටියක්, තේ නිවසක්, රෝස උයන්, වයස අවුරුදු සියයක් පැරණි ඔලිව් ගස්, ළමා කුටියක් සහ නිදන කාමර දෙකක අමුත්තන්ගේ නිවසක් ද පිහිටා තිබෙනවා.
රාජකීය යුවළගේ අසල්වැසියන් වන ඔප්‍රා වින්ෆ්‍රේ සහ ග්විනෙත් පැල්ට්‍රෝ ඇතුළු ප්‍රදේශයේ වෙසෙන අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයන්ටද මෙම ගින්න නිසා ඉවත්වීමට සිදුවිය හැකි බවයි වාර්තා වන්නේ.
2018 දී ලැව්ගිනි හේතුවෙන් ඇතිවූ මඩ කඳු කඩා වැටීම් නිසා වින්ෆ්‍රේගේ දේපළට හානි සිදුවුණා.
අඟහරුවාදා සහ බදාදා කලාපය පුරා ගින්න පැතිරෙද්දී දහස් ගණන් පදිංචිකරුවන් බෙන් අෆ්ලෙක් සහ ජේම්ස් වුඩ් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් ඇතුළුව දැනටමත් පැසිෆික් පැලිසේඩ්ස් වලින් පලා ගොස් තිබෙනවා.
එමෙන්ම පුද්ගලයින් 30,000ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත්වන ලෙස නියම කර තිබෙනවා.
මේ අතර ලොස් ඇන්ජලීස් අවට පැතිර යන ලැව්ගිනි තත්ත්වය හොලිවුඩ් කඳුකරය දක්වාම පැතිර ගොස් ඇති බවත් ඇති වූ ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම නිවාස සිය ගණනක් විනාශවී ඇති බවත් සඳහන්.
ගින්න ආරම්භ වූ අඟහරුවාදා දින සිට වියළි කාලගුණය, පවතින සුළි කුණාටු තත්ත්වය ගිනි නිවීමේ මෙහෙයුම්වලට බාධා පමුණුවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව 100,000 කට වැඩි පිරිසකට අවට ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස නියෝග කරන ලද බවත් සඳහන්.
ලොස් ඇන්ජලීස් නගරාධිපති කැරන් බාස්, ඝානාවේ නිල සංචාරයක් අතරමඟ නතර කර ලොස් ඇන්ජලීස් වෙත ආපසු යාමෙන් පසු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ මෙය ‘ගිනි කුණාටුවක්’ වන බවයි.