19 හැවිරිදි කාන්තාවක් සහ දින 17 ක් වයසැති ඇගේ නිවුන් ළදරුවන් ඝාතනය කරනු ලැබූ මිනිමැරුම් නඩුවක් විසඳීමට කේරළ පොලිසිය විසින් මුහුණු හඳුනාගැනීමේ නවීනතම තාක්ෂණය සහිත AI (කෘත්‍රිම බුද්ධිය සහිත) උපාංග භාවිත කර තිබෙන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තාවලට අනුව 2006 වසරේදී අදාළ කාන්තාව සහ ඇගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් දෙදෙනා ඝාතනය වූ අතර, පොලිසිය කඩිනමින් ක්‍රියාත්මක වී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් ලෙස දිවිල් කුමාර් සහ රාජේෂ් නමැති හිටපු හමුදා සාමාජිකයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබුණා.
කෙසේවෙතත් අනතුරුව සැකකරුවන් අතුරුදන්ව තිබූ අතර ඔවුන් සොයාගැනීමට පොලිසිය දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.
අපරාධය සිදුවන විට සැකකාර හිටපු හමුදා සාමාජිකයන් දෙදෙනා පත්න්කොට් හි සේවයේ යොදවා සිටි බවයි වාර්තා වී ඇත්තේ.
කෙසේවෙතත් වසර 19 කට පසු ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් සැකකරුවන් දෙදෙනා පුදුචේරිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්ඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා විෂ්ණු සහ ප්‍රවීන් කුමාර ලෙස ව්‍යාජ නම්වලින් පෙනීසිට ඇති අතර, ගෘහ අලංකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ජීවත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සැකකරුවන් දෙදෙනා පුදුචේරි හි පාසල් ගුරුවරියන් දෙදෙනෙකු සමග විවාහ වී සිටින බව ද පොලිසිය පවසනවා.
විමර්ශන කණ්ඩායම දිවිල් කුමාර් සහ රාජේෂ්ගේ පැරණි ඡායාරූප ස්කෑන් කිරීම සඳහා මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහිත නවීන මෙවලම් සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කළ බව කේරළ පොලීසිය සඳහන් කරනවා.
එම තාක්ෂණය මගින් විමර්ශන නිලධාරීන් සැකකරුවන්ගේ කොණ්ඩා මෝස්තර සහ වයසට යෑමේ ලක්ෂණ බහුවිධ රටා සමඟින්, අවුරුදු 19කට පසු සැකකරුවන් දෙදෙනා කෙබඳු වනු ඇත්ද යන්න පිළිබඳ ඡායාරූප නිර්මාණය කර තිබෙනවා.
සමාජ මාධ්‍ය පැතිකඩ හරහා මුහුණු හඳුනාගැනීමේ මෙවලම් ක්‍රියාත්මක කිරීමෙන් පසු, ඔවුන්ගේ Facebook ගිණුමක තිබූ මංගල ඡායාරූප කිහිපයක් සමඟ 90% ගැලපීමක් සොයාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශන ඔස්සේයි මෙම ඝාතකයන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට කේරල පොලීසිය කටයුතු කර ඇත්තේ.