Latest News

දුම්රියේ සිට සෙල්ෆි ගැනීමට යාමෙන් ශ්‍රී ලංකාවේ අනතුරු දෙකක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ධාවනය වෙමින් පවතින දුම්රියක සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ කොරියානු සංචාරකයෙකු හදිසි අනතුරකට ලක් ව තිබෙනවා.

ඒ සඳුදා (11) රාත්‍රියේ බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ ගමන් ගත් විදේශිකයා හපුතලේ දුම්රිය ස්ථානය අසලදී පා පුවරුවෙන් ඉවතට වී මිටේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රිය මායිමක යකඩ කණුවක හැපීම හේතුවෙන්.

තුවාල ලැබූ සංචාරකයා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔහු 61 හැවිරිදි කොරියානු සංචාරකයෙකු වන ෂෝලි ටොං බේ ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර බදුල්ල බලා රාත්‍රී තැපෑලෙන් තවත් කිහිප දෙනෙකු සමඟ ඇල්ල බලා යමින් සිටි රත්ගම ප්‍රදේශයේ තරුණියක් හපුතලේ දුම්රිය ස්ථානයේදී සෙල්ෆි ඡායාරූපයක් ගෙන ධාවනය වෙමින් තිබූ දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේදී ධාවනය වූ දුම්රියෙන් වැටී තිබෙනවා.

හපුතලේ නවතා තිබූ දුම්රියෙන් බැස වේදිකාව මත සිටි ඇය සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් ආරම්භ වූ දුම්රියට ගොඩවීමට උත්සාහ කර ඇති අතර වේගයෙන් පැමිණි දුම්රියෙන් ඇද වැටී පහළ පාදයකට බරපතළ තුවාල සිදුවී තිබෙනවා.

ඇය බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේ කොරියානු සංචාරකයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බවයි.

පසුගිය දිනවල ධාවනය වන දුම්රියේ සිට සෙල්ෆි ගැනීමට උත්සාහ කිරීමේදී සංචාරකයින් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවත් ඒ පිළිබඳව දුම්රිය නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ඔහු පැවසුවා.

හපුතලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සේපාල රත්නායක මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

World News