Latest News

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ අමතර උපාංග ඉවත් කිරීමේ තීරණය වෙනස් කරයි

Published 7 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ත්‍රිරෝද රථවල නීත්‍යානුකූලව සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

මෙම වැදගත් තීරණය ගනු ලැබුවේ ඊයේ (15 වන දින) පොලිස් මූලස්ථානයේදී පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

පොලිස්පතිවරයා සහ සමස්ත ලංකා ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් හා අලෙවිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් අතර පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට් පත්‍රය පිළිබඳවයයි.

එම ගැසට් පත්‍රය මගින් ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කිරීම සම්බන්ධ නෛතික රාමුව හා සීමාවන් පැහැදිලිව දක්වා තිබෙනවා.

නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මෙම සාකච්ඡාවේදී වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළා.

විශේෂයෙන්ම සීමාවන් පැනවීමේ මූලික අරමුණ වන්නේ මාර්ග භාවිත කරන සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම බවයි ඔහු පැහැදිලි කළේ.

මේ අතර ත්‍රිරෝද රථ රියැදුරන්, මගීන් සහ අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයක තබා ඇති බව ද සඳහන් කළා.

ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලද උදාහරණයක් ලෙස පැති කණ්ණාඩි සවි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරුණා.

ඒ අනුව පැති කණ්ණාඩි සවි කිරීමේදී ගැටීමකදී පිටුපසට නැමෙන ආකාරයට සවි කළ යුතු බව පැහැදිලි කළා.

තවද, ත්‍රිරෝද රථයේ සමතුලිතතාවය බිඳ නොවැටෙන ආකාරයට අමතර කොටස් සවි කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණා.

රියැදුරුගේ දර්ශන පථයට බාධාවක් නොවන ආකාරයට මෙම සියලු උපාංග සවි කළ යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.

පොලිසිය විසින් තවදුරටත් අවධාරණය කළේ ත්‍රිරෝද රථ උපාංග කොටස් නිෂ්පාදකයන් සහ අළෙවිකරුවන්ගේ රැකියා සුරක්ෂිතතාවය පිළිබඳව ද සැලකිලිමත් වන බවයි.

කෙසේ වෙතත්, නීතියට අනුකූල නොවන හා අන්තරාදායක ලෙස සවිකර ඇති කොටස් ඉවත් කිරීමට කටයුතු කරන බව ද පැහැදිලි කළා.

මෙම වැදගත් සාකච්ඡාවට බස්නාහිර පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා, රථවාහන හා මාර්ග ආරක්ෂාව දසාවභාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල මහහිරිල්ල මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් රැසක් සහභාගී වුණා.

නව තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කරනු ලබන බව ද නිවේදනය කෙරුණා.

මෙම තීරණය මගින් ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියැලෙන පාර්ශවයන්ට සහ මහජන ආරක්ෂාවට සමබර විසඳුමක් ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

World News