නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ බදු වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ලව, මේ මාසයේ දඬුවම් නියම කිරීමට නියමිතව සිටි තම පුත් හන්ටර් බයිඩ්න්ට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් නිල ජනාධිපති සමාවක් නිකුත් කර තිබෙනවා.
අමෙරිකානු ජනපතිවරයා මෙලෙස කර තිබෙන්නේ තම පුතාට සමාව නොදෙන බවත් ඔහුගේ දඬුවම ලිහිල් නොකරන බවටත් කලින් ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.
නමුත් ජනාධිපති බයිඩ්න් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තමා අධිකරණ පද්ධතිය විශ්වාස කළද, දේශපාලන හේතු මත තම පුත්‍රයාට මෙලෙස චෝදනා ගොනු කර ඇති බව විශ්වාස කරන බවයි.
හන්ටර් බයිඩ්න් පසුගිය සැප්තැම්බර් මස මුලදී බදු චෝදනාවලට වරද පිළිගත් අතර, පසුගිය ජූනි මාසයේදී නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු ලෙස සිටිමින් තුවක්කුවක් ළඟ තබාගැනීමේ වරදට වරදකරු වුණා.
එමගින් අමෙරිකාවේ ෆෙඩරල් අපරාධයකට වරදකරුවෙකු වූ ධූරයේ සිටින ජනාධිපතිවරයෙකුගේ පළමු දරුවා බවට හන්ටර් බයිඩ්න් පත්වුණා.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ මෙම ක්‍රියාව ඔහුගේම ඩිමොක්රටික පක්ෂ ක්‍රියාකාරීන් තුළ බෙදීමක් ඇති කර තිබෙනවා. ජනපතිවරයාගේ ඥාතීන්ට වරප්‍රසාද ලබා දීමක් මෙහිදී පෙනෙන්නට ඇති බවටයි ඇතමෙක් තර්ක කරන්නේ.
මේ අතර අමෙරිකානු නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සමාව හඳුන්වා ඇත්තේ “යුක්තිය අපයෝජනය කිරීමක් ලෙසයි.
තම පුතාට සමාව දීමට ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කළාක් මෙන්ම අමෙරිකා එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ල වෙත පැමිණ ජනවාරි 06 සිදුකළ ප්‍රහාරයේ දී නඩු පැවරුණු රිපබ්ලිකන් ආධාරකරුවන්ටත් එලෙසින්ම ජනාධිපති සමාව හිමිවන්නේ දැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රශ්න කර තිබෙනවා.