ශ්‍රී ලංකාවේ වවුනියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වවුනියාවේ වැව් 125ක් පමණ මේ වනවිට වාන් දමා ඇති බව වාර්තා වනවා.
වවුනියාවේ කුඩා වැව්, මධ්‍ය පරිමාණයේ වැව් සහ මහවැව් 600කට ආසන්න ප්‍රමාණයක් ඇති අතර මේ වන විට එම සියලුම වැව් වාන් දමා ඇති බව සඳහන්.
වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රාමයන්කුලම් වැව, අරවිතොට්ටම්හි පිහිටි නාගරයාන්කුලම් වැව සහ ඕමන්ත මඩත්තුවිලාන්කුලම් යන වැව් 03හි වැව් බැමි අධික වර්ෂාව හේතුවෙන් කැඩී ගොස් තිබෙනවා.
කැඩී ගිය වැව් බැමි යුදහමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තාවකාලිකව පිළිසකර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත් කුඩා වැව්වලට අමතරව මහ වැව්ද වාන් මට්ටමට පැමිණ ඇති බැවින්, වාන් ජලය හේතුවෙන් පහත්බිම්වල සිටින ජනතාවට ගංවතුර තත්වයක් ඇති වීමට ඉඩ ඇති බැවින් අවධානයෙන් පසුවන ලෙසට වවුනියාව ආපදා කළමනාකරන නිලධාරී කාර්යාලය විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා.
පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශයේ වාන් දොරටු දහයක් සහ අංගමුව ජලාශයේ වාන දොරටු දෙකම අද (27) විවෘත කළා.
රාජාංගනය ජලාශයේ විවෘත කළ වාන්දොරටු දහයෙන් දොරටු හතරක් අඩි පහ බැගින්ද, තවත් දොරටු හතරක් අඩි හතර බැගින්ද, අනෙක් දොරටු දෙක අඩි දෙක බැගින්ද විවෘත කළ බවයි ජලාශය භාර වාරි මාර්ග ඉංජිනේරු සම්පත් සමරජීව මහතා කියා සිටියේ.
දොරටු විවෘත කිරීමෙන් අනතුරුව රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි නමදහස් නමසිය තිහ බැගින් ජල ධාරිතාවක් කලාඔයට මුදා හැරෙනු ඇති.
අංගමුව ජලාශයේ වාන්දොරටු දෙකම විවෘත කිරීමෙන් අනතුරුව තත්පරයට ඝන අඩි තුන්දහස් හයසිය පනහ බැගින් ලුණුඔයට ජලය මුදා හැරෙනවා.
අක්කර අඩි 81600ක ජල ධාරිතාවකින් හෙබි රාජාංගනය ජලාශයේ වාන් දොරටු තිහක් පවතින අතර මේ සියලු දොරටු ක්‍රියාකාරී මට්ටමේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඉදිරි කාලයේදී තවදුරටත් අධික ලෙස වර්ෂාව ලැබුණහොත් ඉදිරියේදී රාජාංගනය ජලාශයේ තවත් වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදුවන බවත්, ඒ හේතුවෙන් කලාඔය සහ ලුණුඔය ආශ්රිත පහක් බිම්වල ජීවත්වන ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් වාරීමාර්ග ඉංජිනේරු සම්පත් සමරජීව මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා.
කළා වැවේ වාන් දොරටු විවෘත කිරීමත් සමග, පහළින් පිහිටි කොනිත්ත ප්‍රදේශය ජලයෙන් යටවී තිබෙනවා.
ඇඳගල – බුල්නෑව මාර්ගය කොනිත්ත පාලම අසලින් අඩි කීපයක් ජලයෙන් යටවී ඇති අතර, එම ප්‍රදේශයේ ගොවිබිම් විශාල ප්‍රමාණයක්ද ජලයෙන් යටවී ඇති අයුරු දක්නට ලැබෙනවා.
ගල්නෑව සිට කැකිරාව දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය හදුන්ගම පාලම අසලින් ජලයෙන් යට වීම හේතුවෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම ඇණ හිට ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.