බලහත්කාර කම්කරු සේවය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ ආනයන තහනම් කරමින් යුරෝපා කවුන්සිලය ඓතිහාසික තීන්දුවක් ගෙන තිබෙනවා.
මේ තීරණාත්මක පියවර ගෙන ඇත්තේ යුරෝපා සංගමයේ රටවල් අතර මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ වෙළෙඳ ආචාර ධර්ම හුරුකරවීමට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින බලහත්කාර කම්කරු සේවය පිළිබඳ සැලකිල්ලට ගනිමින් 2022 දී යුරෝපා කොමිසම මුල්වරට එම නීතිරෙගුලාසි හඳුන්වා දී ඇත්තේ චීනයේ ෂිංජියැං ප්‍රාන්තයේ උයිගර් සුළුතර ප්‍රජාව සහ එරට අනෙකුත් මුස්ලිම් සුළුතර ජනතාව බලහත්කාර කම්කරු සේවයේ යොදවන බවට එල්ල වූ චෝදනාව හේතුවෙන්.
පසුගියදා එවැනි බලහත්කාර කම්කරු සේවය භාවිත කරමින් නිෂ්පාදන කරන භාණ්ඩ ලොව කිසිඳු රටකින් ආනයනය කිරීම තහනම් කිරීම දක්වා එම නීති රෙගුලාසි පුළුල් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන හා ස්වාධීන පර්යේෂකයන් ඇතුළු විවිධ මට්ටමේ සංවිධානවල වාර්තා සැලකිල්ලට ගෙන යුරෝපා කොමිසම එම පියවර ගෙන තිබෙනවා.