ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් පීඩාවට පත්ව තිබෙනවා.
ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
පවුල් 1,753කට අයත් පුද්ගලයින් 6,963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැදී සිටින බව ද එම මධ්‍යස්ථානය සදහන් කළා.
ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පුර්ණයෙන් ම විනාශ වී ඇති බව වාර්තා වනවා.
ජල පහරට හසුව කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 200,67කට අයත් පුද්ගලයින් 80,529ක් පීඩාවට පත්ව සිටින අතර,කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,904 කට අයත් පුද්ගලයින් 40,231 ක් පීඩාවට පත්ව තිබෙනවා.
මේ අතර පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හමුවේ හදිසි අපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට සහන සැලසීම හා මුදවා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කිරීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ඇති විය හැකි අපදා තත්ත්වයන් පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණ කටයුතු සිදු කරන බවයි, එම හමුදාව සඳහන් කළේ.
තවද ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා ද ගුවන් හමුදාව සූදානමින් සිටිනවා.
ඒ සඳහා Bell- 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති බව සඳහන්.
එමෙන්ම Bell- 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිගුරක්ගොඩ සහ පළාලි ගුවන් හමුදා කඳවුරුවල සූදානම් කර තබා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය අංශ සඳහන් කළේ.
මුදවා ගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් ද එම කඳවුරු තුළ මේ වනවිටත් සූදානමින් සිටින බව වැඩිදුරටත් සඳහන්.