දකුණු ඉතාලියේ ගෑස් පිපිරීමක් නිසා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නේපල්ස් අසල සැවියානෝ නගරයේ පිහිටි දෙමහල් නිවසක් පිපිරීමෙන් එම නිවස අර්ධ වශයෙන් කඩා වැටුණු අතර, පිරිමි ළමයෙකු, ගැහැණු ළමයෙකු, ඔවුන්ගේ මව සහ මිත්තනියයි මෙසේ මිය ගොස් ඇත්තේ.
පියා සහ අලුත උපන් බිළිඳකු සුන්බුන් අතරින් ගොඩ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේ තුවාල ලබා ඇති පියා බරපතල තත්ත්වයෙන් පසුවන බැවින් නේපල්ස් හි රෝහලක රැඳී සිටින අතර, දරුවාට සිදුව ඇති තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව මාධ්‍ය වාර්තා සඳහන් කළා.
බලධාරීන් දරුවන්ගේ වයස තහවුරු කර නොමැති අතර, ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඔවුන් වයස අවුරුදු හතර සහ හය වන බවයි.
එමෙන්ම වැඩිදුරටත් මාධ්‍ය වාර්තා කරන්නේ, දෙමව්පියන් සහ දරුවන් තිදෙනා එක් මහලක ජීවත් වී ඇති අතර, මිත්තනිය ඉහළ මහලේ ජීවත් වූ බවයි.
