හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපය සම්බන්ධ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් සකස් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
පරිසර යුක්ති කේන්ද්‍රය සහ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මෙම දැනුම්දීම සිදු කළා.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන , අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපය තුළ සිදු කළ හැකි හා සිදු කළ නොහැකි ක්‍රියාකාරකම් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.
අද නඩුව කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ගැසට් නිවේදනය සකස් කර ඇති බවත් එහි පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ, එම රෙගුලාසි අධ්‍යයනය කර අධිකරණයට කරුණු දැක්වීමට කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල, රෙගුලාසි පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශවයට අවසර ලබාදී, පෙත්සම යළි සැප්තැම්බර් 14 වනදා කැඳවීමට නියෝග කළා.