බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස රාජ්‍ය අංශයේ ඇතැම් සේවකයන් ගෙදර සිට සේවා කටයුතු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් සුමන ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ, එම වැඩපිළිවෙළ පිළිබඳ විවිධ පාර්ශවවලින් යෝජනා ඉදිරිපත් වී ඇති බවයි.
බලශක්ති අර්බුද මතුවන අවස්ථාවල ලෝකයේ බොහෝ රටවල ගෙදර සිට සේවය කිරීමේ ක්‍රමය භාවිතා කිරීම සාමාන්‍ය ක්‍රමයක් වන අතර, කොවිඩ් ව්‍යාප්ත වූ සමයේද මෙරට එම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරිණ.
මැද පෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මෙරට බලශක්ති පිරිවැයද වැඩි වී ඇති අතර, තෙල් සැපයුම්වල තවත් අවහිරතා මතුවුවහොත් ඉන්ධන ගාස්තු නැවත වැඩි කිරීමට සිදුවිය හැකි බව ඛනිජ තෙල් අංශය පෙන්වා දෙයි.
මේ අතර ඉන්ධන ලබා ගැනීම පාලනය කිරීම සඳහා කිව් ආර් කේත භාවිතා කිරීමේ ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කිරීමටද රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.