දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී ඇති හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.
මෙම අභියාචනා පෙත්සම් අද ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න , අර්ජුන ඔබේසේකර , අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගෙන තිබුණා.
එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලී සබරි අද දේශන ඉදිරිපත් කළ අතර, එම දේශනවල වැඩිදුර කොටස හෙට දින ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු නීතිඥ මණ්ඩලයක් හෙට දිනයේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන්.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාල වෙත බෙදාදීම සඳහා ලංකා සතොස හරහා කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් ආනයනය කර බෙදාදීමෙන් රජයට රුපියල් කෝටි 6කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණා.
එම නඩුව විභාග කළ ත්‍රිපුද්ගල ස්ථිර මහධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත්ගමගේට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ නලින් ප්‍රනාන්දුට වසර 25ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබුණා.
එම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.