Latest News

දශක පහකට ආසන්න ඉතිහාසයකට අවසානයක් – ලංකා විදුලිබල මණ්ඩලය සමාගම් 6කට බෙදෙයි

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දශක 5කට ආසන්න ඉතිහාසයක් හිමි ලංකා විදුලි බලමණ්ඩලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අහෝසි වී තිබෙනවා. ඒ, එම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ සමාගම් හයකට බෙදීමේ ක්‍රියාවලිය අද සිට බලාත්මක වීමත් සමඟයි.
නව සමාගම් 6 අතරින් තුනක් සඳහා මේ වනවිටත් ප්‍රධාන විධායක නිලධාරීන් පත් කර ඇති බව සඳහන්.
“විදුලි බලයෙන් සසිරිමත් දිවියක්” යන දැක්ම යටතේ ලංකා විදුලිබල මණ්ඩලය 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනත මගින් 1969 නොවැම්බර් 1 වැනිදා ස්ථාපිත කෙරුණා. මෙරට විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පාරිභෝගිකයන් වෙත සැපයීම ඇතුළු සියලු වගකීම් එම මණ්ඩලය වෙත පැවරී තිබුණා.
කෙසේ වෙතත්, 2020 පසුකාලීනව උද්ගත වූ ආර්ථික අර්බුදයත් සමඟ රාජ්‍ය ආයතනවල අධික ණය බර හා අලාභ තත්ත්වයන් සම්බන්ධයෙන් විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ද ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට නිර්දේශ කර තිබුණා.
ඒ අනුව 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත ඉදිරිපත් කෙරුණත් එයට විවිධ පාර්ශ්වවලින් විරෝධය ද එල්ල වුණා. එහෙත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරමින් එය සමාගම් 6කට බෙදීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මෙම නව ව්‍යුහය යටතේ විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීමට නියමිතයි. ඒ සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම ද මෑතකදී සිදුකර තිබෙනවා.
ඒ අනුව Electricity Distribution Lanka (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර පත් කර ඇති අතර Electricity Generation Lanka (Pvt) Ltd සඳහා සාලිය පණ්ඩිතරත්න ද, National Transmission Network Service Provider (Pvt) Ltd සඳහා ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ ද ප්‍රධාන විධායක නිලධාරීන් ලෙස පත් කර තිබෙනවා.
තවද National System Operator (Pvt) Ltd, CEB Employees Fund (Pvt) Ltd සහ Energy Ventures Lanka (Pvt) Ltd යන සමාගම් තුනට අදාළ පත් කිරීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කෙසේ වෙතත් විදුලිය බිඳ වැටීම, නව සම්බන්ධතා ලබා ගැනීම ඇතුළු විදුලිබල සේවාවන් සම්බන්ධයෙන් ජනතාව සාමාන්‍යයෙන් අමතන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවා, නව සමාගම්වලින් වෙනත් දැනුම්දීමක් කරන තුරු පෙර පරිදිම ක්‍රියාත්මක වන බව ද බලධාරීන් ප්‍රකාශ කළා.

World News

Send your contact Details Today