මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුද තත්ත්වය දැඩි ලෙස හෙළා දකිමින් චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යි පවසන්නේ මෙම ගැටුම “කිසිසේත්ම සිදු නොවිය යුත්තක්” බවත් වහාම සටන් විරාමයක් අවශ්‍ය බවත්ය.
අද (08) චීනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන විට මුළු කලාපයම “ගිනිදැල්වලට හසුව ඇති” බවයි.
“මෙය කිසිදු පාර්ශවයකට වාසිදායක නොවන, සිදු නොවිය යුතු යුද්ධයක්,” යනුවෙන්ද ඔහු අවධාරණය කර තිබේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්රහාරයන්ත් සමඟ කලාපයේ යුදමය තත්ත්වය තවත් උත්සන්න වී ඇත. එයට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට සහ ගල්ෆ් කලාපයේ පවතින අමෙරිකානු ඉලක්ක වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටින බවද වාර්තා වේ.
එමෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය විසින් ලෙබනනයට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම ද චීනය මීට පෙර දැඩි ලෙස හෙළා දැක තිබුණි.
“ශක්තිවන්තයා සැමවිටම නිවැරදි නොවේ. කැලෑ නීතියට ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. හිතුමනාපයට බලය භාවිතා කිරීමෙන් කෙනෙකුගේ ශක්තිය ඔප්පු වන්නේ නැහැ,” යනුවෙන්ද වැන්ග් යි ප්‍රකාශ කර ඇත.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ මීළඟ නායකයා තේරීමට තමන්ට අයිතියක් ඇති බවත්, ඉරානය “කොන්දේසි විරහිතව යටත් විය යුතු” බවත් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද චීනය සිය අප්‍රසාදය පළ කර තිබේ.
වැන්ග් යි පවසන්නේ මැදපෙරදිග කලාපයේ සැබෑ අයිතිකරුවන් එහි ජනතාව බවත්, එරටවල අභ්‍යන්තර පාලනය තීරණය කළ යුත්තේ කලාපීය රටවල් විසින් ස්වාධීනව බවත්ය.
“කුමන්ත්‍රණ මගින් පාලන තන්ත්රයන් වෙනස් කිරීමට කරන උත්සාහයන් ජනතාව කිසිසේත් පිළිගන්නේ නැහැ,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.