ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඉහළ අහසේ අද (7) පෙරවරුවේ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පිපිරීමෙන් පසු ගුවන්තොටුපොළ ඉහළ අහසේ දුමාරයක් පෙනී ගොස් ඇති බවද සඳහන් වේ. ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියක් වන Flightradar24 ද පෙන්වා දෙන්නේ, එම සිදුවීම හේතුවෙන් ගුවන්යානා කිහිපයක් ගොඩබෑමට නොහැකිව ගුවන්තොටුපොළ ඉහළ අහසේ වටවමින් රැඳී සිටි බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඩුබායි මාධ්‍ය කාර්යාලය සිය X සමාජ මාධ්‍ය ගිණුම මඟින් ප්‍රකාශ කර ඇත්තේ එය සුළු සිදුවීමක් බවයි. එහෙත් වැඩිදුර විස්තර හෙළි නොකළ එම කාර්යාලය, ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පැතිර යන ඇතැම් වාර්තා ප්‍රතික්ෂේප කර ඇත.
ඉරානයට එරෙහිව එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදුකරන ප්‍රහාර හේතුවෙන් කලාපයේ උණුසුම් යුදමය වාතාවරණයක් පවතින අතර, මෙම සිදුවීමෙන් ඩුබායි ගුවන්තොටුපොළේ සේවකයන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවත් ගුවන්තොටුපොළටද කිසියම් හානි සිදුව ඇති බවත් වාර්තා වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉලක්ක වෙත ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල වන තත්ත්වය මධ්‍යයේ, ලෝකයේ කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන ඩුබායි හි සීමිත ගුවන්ගමන් සේවාවන් ඉකුත් සඳුදා සිට නැවත ආරම්භ කර තිබුණි.