පොදු ස්ථානවලදී කාන්තාවන් අසලට පැමිණ සුහදව කතාබස් කරන මුවාවෙන්, ඔවුන්ව රහසිගතව රූගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ භයානක ප්‍රවණතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.
මීට ප්‍රධාන වශයෙන්ම උපකාරී වී ඇත්තේ සාමාන්‍ය ඇස් කණ්ණාඩි මෙන් පෙනෙන, නමුත් වීඩියෝ පටිගත කළ හැකි ‘ස්මාර්ට් කණ්ණාඩි’ (Smart Glasses) තාක්ෂණයයි.
සමාජ මාධ්‍ය තුළ මේ දිනවල ජනප්‍රිය වෙමින් පවතින “Rizz” (Charisma හෙවත් ආකර්ෂණීය බව) නමින් හැඳින්වෙන වීඩියෝ කලාවක් පවතී.
මෙහිදී සිදුවන්නේ පිරිමින් විසින් පාරේ හෝ පොදු ස්ථානවල සිටින කාන්තාවන් අසලට ගොස් ඔවුන්ව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කරන ආකාරය රූගත කිරීමයි.
බොහෝ විට මෙම වීඩියෝ පටිගත කරන්නේ අදාළ කාන්තාවගේ කිසිදු අනුදැනුමකින් තොරවය.
මෙලෙස පිරිමින් ඉලක්ක කර ගනිමින් වීඩියෝ නිර්මාණය කරන පුද්ගලයින් ‘Manfluencers’ ලෙස හැඳින්වේ.
වොෂින්ටන් ගුවන් තොටුපළකදී තමන්ට හමු වූ ආගන්තුකයෙකු පිළිබඳව ‘ටොලුවා’ නම් තරුණියක් සිය අත්දැකීම හෙළි කර තිබේ.
ඔහු සමඟ සුහදව කතා කළ ඇය පසුව දුරකථන අංක ද හුවමාරු කරගෙන ඇත.
නමුත් පසුව ඇය සොයාගෙන ඇත්තේ ඔහු ‘ස්මාර්ට් කණ්ණාඩි’ භාවිතා කර තමන්ව රූගත කර ඇති බවත්, ඇය අකමැති වුවද එම වීඩියෝව මිලියන ගණනක් නරඹන පරිදි TikTok වෙත මුදාහැර ඇති බවත්ය.
මෙම ප්‍රවණතාවය පිළිබඳව අදහස් දක්වන විද්වතුන් පවසන්නේ මෙය තාක්ෂණය භාවිතා කර කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීමක් බවයි.
පිරිමින්ට පොදු ස්ථානවල සිටින කාන්තාවන්ගේ රූපය ඔවුන්ගේ අනුදැනුමකින් තොරව පාලනය කිරීමටත්, ඔවුන්ව සමාජ මාධ්‍ය තුළ විහිළුවකට හෝ අපහාසයට ලක් කිරීමටත් මෙයින් අවස්ථාව ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.
මෙවැනි වීඩියෝවලට ලැබෙන ඇතැම් ප්‍රතිචාර කාන්තා විරෝධී (Misogynistic) ස්වභාවයක් ගන්නා බැවින්, අන්තර්ජාලය තුළ කාන්තාවන්ට පවතින ආරක්ෂාව මෙයින් තවදුරටත් තර්ජනයට ලක් වේ.