ඉතාලියේ ටියුරින් නුවර පසුගිය සති අන්තයේ ඇති වූ දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව, එරට රජය විසින් නව දැඩි ආරක්ෂක නීති මාලාවක් කඩිනමින් අනුමත කර තිබේ.
අගමැතිනී ජෝර්ජියා මෙලෝනිගේ (Giorgia Meloni) රජය විසින් හඳුන්වා දුන් මෙම නව පියවර අතර වඩාත්ම කතාබහට ලක්ව ඇත්තේ ‘පූර්ව නිවාරණ රැඳවුම් භාරය’ (Preventive Detention) පිළිබඳ නීතියයි.
මෙම නව නීතිය යටතේ, යම් විරෝධතාවක් ආරම්භ වීමට පෙර “මහජන ආරක්ෂාවට තර්ජනයක්” විය හැකි යැයි සැක කරන ඕනෑම පුද්ගලයෙකු පැය 12ක කාලයක් රඳවා තබා ගැනීමට පොලිසියට බලය ලැබේ.
මීට අමතරව පික්පොකට් කරුවන්ට දැඩි දඬුවම් පැමිණවීම, බාලවයස්කාර කල්ලි (Baby Gangs) මර්දනය කිරීම, පිහි සහ අනතුරුදායක ආයුධ ළඟ තබා ගැනීම වැළැක්වීමට නව සීමා පැනවීම, බාලවයස්කරුවන්ට හානිකර ආයුධ අලෙවි කිරීම තහනම් කිරීම ද අයත් වේ.
“ප්‍රචණ්ඩත්වය පතුරුවන කල්ලිවලට සහ නගර විනාශ කරන්නන්ට විරෝධතා දැක්වීමේ අයිතිය මුවාවෙන් ක්‍රියා කිරීමට ඉඩ දිය නොහැකි” බව අගමැතිනී මෙලෝනි අවධාරණය කළාය.
කෙසේ වෙතත්, විපක්ෂ කණ්ඩායම් පවසන්නේ මෙමගින් නිදහස් රැස්වීමේ අයිතිය උල්ලංඝනය වන බවත්, නගර යුද පිටියක් බවට පත්විය හැකි බවත්ය.
පසුගිය සෙනසුරාදා ටියුරින් නුවර පැවති විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගත් අතර, එහිදී පොලිස් නිලධාරීන් 100කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
මුහුණු ආවරණය කරගත් පිරිස් ගල්, ගිනි අවුලුවන ද්‍රව්‍ය සහ මිටිවලින් පොලිස් නිලධාරීන්ට පහර දී තිබේ.
එක් නිලධාරියෙකුගේ හිස් ආවරණය ගලවා මිටියකින් පහර දීම “මිනීමැරීමට තැත් කිරීමක්” ලෙස අගමැතිනිය හැඳින්වීය.