Latest News

බිහිසුණු ‘ස්ත්‍රී ලිංගික ඡේදනයට’ ගොදුරු වෙන ඉතාලියේ කාන්තාවන් ගැන නවතම අනාවරණයක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉතාලියේ වෙසෙන කාන්තාවන් 95,000කට වැඩි පිරිසක් ‘ස්ත්‍රී ලිංගික ඡේදනය’ (Female Genital Mutilation – FGM) නමැති අමානුෂික ක්‍රියාවට ගොදුරු වී ඇති බව විදේශීය වෛද්‍යවරුන්ගේ සංගම් සහ ක්‍රියාකාරීන් පෙන්වා දෙයි.

පසුගිය සිකුරාදාට යෙදුණු ‘ස්ත්‍රී ලිංගික ඡේදනයට එරෙහි ජාත්‍යන්තර දිනය’ නිමිත්තෙන් වාර්තාවක් නිකුත් කරමින් ඉතාලියේ විදේශීය වෛද්‍යවරුන්ගේ සංගමය (AMSI) ඇතුළු සංවිධාන කිහිපයක් මෙම බරපතළ අනාවරණය සිදු කර තිබේ.

යුරෝපය තුළ මෙම ප්‍රවණතාව ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එවැනි සම්ප්‍රදායන් පවතින අප්‍රිකානු සහ අරාබි කලාපවල සිට පැමිණෙන තරුණ සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමයි.

දියුණු යැයි සම්මත රටවල පවා මෙවැනි ප්‍රාථමික සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම මානව හිමිකම් පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් බව මහාචාර්ය ෆෝඩ් අවෝඩි (Foad Aodi) පවසයි.

මෙම ව්‍යසනය මැඩපැවැත්වීම සඳහා ‘ජාත්‍යන්තර FGM නිරීක්ෂණ මධ්‍යස්ථානයක්’ (International Anti-FGM Observatory) පිහිටුවීමට වෛද්‍යවරුන් යෝජනා කර ඇත.

එමගින් මෙම ක්‍රියාවට ගොදුරු වූවන් පිළිබඳ දත්ත එක්රැස් කිරීම, ඔවුන් මුහුණ දෙන කායික හා මානසික සංකූලතා විශ්ලේෂණය කිරීම, වැළැක්වීමේ සහ අධ්‍යාපනික වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සිදු කෙරේ.

බොහෝ විට මෙම හානිය හඳුනාගනු ලබන්නේ අදාළ කාන්තාවන් ගැබ්ගැනීමකදී හෝ දරු ප්‍රසූතියකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි විටය.

එහෙත් එම අවස්ථාව වන විටත් ඔවුන්ට සිදු වූ ශාරීරික හා මානසික හානිය ස්ථිර වී අවසන්ය.

එබැවින් පාසල්, පවුල් උපදේශන මධ්‍යස්ථානය සහ ප්‍රජා සෞඛ්‍ය සේවා හරහා මීට වඩා කල්තියා මැදිහත් වීමක් අවශ්‍ය බව ක්‍රියාකාරීහු පෙන්වා දෙති.

ලෝක ව්‍යාප්ත දත්තයන්ට අනුව 2024 වන විට මිලියන 230කට අධික ගැහැනු දරුවන් සහ කාන්තාවන් පිරිසක් මෙම අමානුෂික ක්‍රියාවට ගොදුරු වී ඇත.

මෙය 2016 වසරට වඩා මිලියන 30ක ඉහළ යාමකි. සෝමාලියාවේ මෙම තත්ත්වය 98%ක් තරම් ඉහළ මට්ටමක පවතින අතර ඊජිප්තුව වැඩිම සිදුවීම් වාර්තා වන රට බවට පත්ව තිබේ.

“මෙය සාම්ප්‍රදායික චාරිත්‍රයක් නොව, කාන්තාවකගේ ජීවිතයම විනාශ කරන, ඇයට ස්ථිර කායික, මානසික සහ ලිංගික කැළැල් ඉතිරි කරන සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයකි,” යැයි වෛද්‍යවරු අවධාරණය කරති.

World News

Send your contact Details Today