දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වෙනිසියුලාව, අමෙරිකානු මැදිහත් වීමෙන් සිදුකළ සිය පළමු බොරතෙල් අලෙවියෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආදායමක් උපයා තිබේ.
අමෙරිකානු මැදිහත් වීම මත ඇති කරගත් ගිවිසුමකට අනුව වෙනිසියුලාව විසින් බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකාවට ලබා දී ඇති අතර, ඉන් ලැබුණු ප්රතිලාභ එරට ආර්ථිකයට විශාල අස්වැසිල්ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ගනුදෙනුවෙන් ලැබුණු මුදල් වෙනිසියුලා රජයට සෘජුවම පරිහරණය කිරීමට අවසර නොලැබේ.
එම මුදල් කටාර් රාජ්‍යයේ පිහිටි සීමිත ප්‍රවේශ සහිත බැංකු ගිණුමක තැන්පත් කර ඇති අතර, රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අමෙරිකානු අනුමැතිය ඇතිව එම මුදල් නිදහස් කිරීමට නියමිතය.
මෙම ආර්ථික වෙනස්කම් සිදුවන්නේ වෙනිසියුලාවේ ඇති වූ දැවැන්ත දේශපාලන පෙරළියක් මධ්‍යයේය.
පසුගිය ජනවාරි 3 වැනිදා අමෙරිකානු හමුදාව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රැගෙන යන ලදී.
මෙම මෙහෙයුමේදී සිදු වූ ගැටුම්වලින් පුද්ගලයන් 83 දෙනෙකු පමණ මියගිය බව වෙනිසියුලා ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරයාගේ අතුරුදන් වීමත් සමඟ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් වැඩබලන ජනාධිපති ලෙස ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) පත් කර තිබේ.
වැඩබලන ජනාධිපති රොඩ්රිගස් විසින් වසර 25ක් පුරා පැවති දැඩි රාජ්‍ය පාලන නීති ලිහිල් කරමින්, විදේශ ආයෝජන දිරිමත් කිරීම සඳහා නව හයිඩ්‍රොකාබන් නීති හඳුන්වා දීමට යෝජනා කර ඇත.
අමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් ද ඉදිරියේදී වෙනිසියුලාවේ සංචාරය කරමින් එරට තෙල් හා ගෑස් කර්මාන්තය අධීක්ෂණය කිරීමට නියමිතය.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා පොදු සමාවක් ප්‍රකාශයට පත් කිරීමටත්, කුප්‍රකට ‘එල් හෙලිකොයිඩ්’ (El Helicoide) සිරගෙදර ප්‍රජා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් නව රජය පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, විචාරකයන් පවසන්නේ මෙම තාවකාලික පියවර මගින් වෙනිසියුලාවේ පවතින ව්‍යුහාත්මක ගැටලු විසඳීමට නොහැකි වනු ඇති බවයි.