බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී ඝාතනයට ලක්වූ නයිජීරියානු පතල් කම්කරුවන් 21 දෙනෙකුගේ පවුල් වෙත පවුම් මිලියන 420ක (රුපියල් බිලියන 160කට අධික) වන්දියක් ගෙවන ලෙස නයිජීරියානු අධිකරණයක් එක්සත් රාජධානියට නියෝග කර තිබේ.
මෙම නඩු තීන්දුව අදාළ වන්නේ 1949 වසරේදී ගිනිකොනදිග නයිජීරියාවේ එනුගු ප්‍රාන්තයේ පිහිටි ගල්අඟුරු පතලක සිදු වූ සිදුවීමකටය.
එහිදී වඩා හොඳ සේවා කොන්දේසි ඉල්ලා සාමකාමී වර්ජනයක නිරත වූ නිරායුධ පතල් කම්කරුවන් පිරිසකට එවකට යටත් විජිත පොලිසිය විසින් වෙඩි තබන ලදී.
මෙම වෙඩි තැබීමෙන් කම්කරුවන් 21 දෙනෙකු මියගිය අතර තවත් 51 දෙනෙකු බරපතල තුවාල ලැබූහ.
එනුගු මහාධිකරණ විනිසුරු ඇන්තනි ඔනෝවෝ (Justice Anthony Onovo) ප්‍රකාශ කළේ, මෙම කම්කරුවන් කිසිදු ප්රචණ්ඩ ක්‍රියාවකට සම්බන්ධ නොවී සාමකාමීව සිය අයිතිවාසිකම් ඉල්ලා සිටි බවයි.
ඒ අනුව:
එක් පවුලකට පවුම් මිලියන 20 බැගින් වන පරිදි සමස්තයක් ලෙස පවුම් මිලියන 420ක වන්දියක් ගෙවිය යුතුය.
සිදුවූ හානිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය නිල වශයෙන් සමාව අයැදිය යුතුය.
විකින් සඳහා සාධාරණය ඉටු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නයිජීරියානු රජය ද වගකිව යුතුය.
නයිජීරියාවේ නිදහස් අරගලයට මග පෑදූ ප්‍රධානතම සිදුවීමක් ලෙස මෙම ඉවා නිම්න වෙඩි තැබීම සැලකේ. මෙම සිදුවීමෙන් වසර 11කට පසු, එනම් 1960 දී නයිජීරියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය.
“මෙම තීන්දුව මගින් යටත් විජිත යුගයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඓතිහාසික වගවීමක් සිදු වී තිබෙනවා. ජීවත්වීමේ අයිතිය කාලයට හෝ දේශසීමාවලට සීමා නොවන බව මෙයින් තහවුරු වෙනවා,” යැයි මෙම නඩුවට පෙනී සිටි නීතිඥ යෙමි අකින්සේ-ජෝර්ජ් (Yemi Akinseye-George) මහතා පැවසීය.
කෙසේ වෙතත්, මෙම නඩු විභාගය සඳහා බ්‍රිතාන්‍ය රජය නියෝජනය කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම ද ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.