නූතන මානව ශිෂ්ටාචාරයට බොහෝ කලකට පෙර ලොව පුරා පැතිරුණු දියුණු අතීත ශිෂ්ටාචාරයක් පැවති බවට පර්යේෂකයෙකු විසින් ඉදිරිපත් කරන ලද නවතම සාක්ෂි පෙළක් හේතුවෙන් පුරාවිද්‍යා ලෝකය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ස්වාධීන පර්යේෂකයෙකු වන මැතිව් ලක්‍රොයික්ස් (Matthew LaCroix) පවසන්නේ, ලොව පුරා විවිධ ස්ථානවල ඇති පෞරාණික ස්මාරක තුළ ජ්‍යාමිතිය සහ සංකේත භාවිතයෙන් අනාගත විපත් පිළිබඳ අනතුරු ඇඟවීම් සහ මානව සම්භවය පිළිබඳ රහස් කේතනය කර ඇති බවයි.
ඊජිප්තුව, තුර්කිය, කාම්බෝජය සහ දකුණු ඇමරිකාව වැනි එකිනෙකට දුරින් පිහිටි කලාපවල ඇති පැරණි ස්මාරකවල “T” හැඩය, පියගැට පිරමිඩ (Step Pyramids) සහ සිංහ රූප වැනි සමාන සංකේත එකම අයුරින් භාවිත වී තිබීම මෙහි ඇති සුවිශේෂත්වයයි.
ප්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් මෙම ස්ථාන වසර දහස් ගණනක් පැරණි බව පැවසුවද, ලක්‍රොයික්ස් තර්ක කරන්නේ මෙම ශිෂ්ටාචාරය වසර 38,000ත් 40,000ත් අතර අතීතයකට දිවයන බවයි.
මෙම දියුණු ශිෂ්ටාචාරය විශ්වයේ චක්‍රීය ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයකින් සිට ඇති අතර, ඉදිරියේදී සිදුවීමට නියමිත ගෝලීය ව්‍යසනයන්ගෙන් තම දැනුම ආරක්ෂා කර ගැනීමට ඒවා ස්මාරක තුළ මෙලෙස කේතනය කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
ලක්‍රොයික්ස් පවසන පරිදි, මෙම ගෝලීය පද්ධතියේ මූලාරම්භය තුර්කියේ ‘අයෝනිස්’ (Ionis) නම් ප්‍රදේශයෙන් ආරම්භ වී පසුව ගීසා පිරමිඩ දක්වා ව්‍යාප්ත වී ඇත.
විශේෂයෙන්ම ඊජිප්තුවේ ස්පින්ක්ස් (Sphinx) ප්‍රතිමාව මුලින්ම සිංහයෙකුගේ ස්වරූපයෙන් නිර්මාණය කර තිබෙන්නට ඇති බවත්, පසුව එය පාරාවෝවරයෙකුගේ මුහුණට සමාන වන සේ වෙනස් කර ඇති බවත් ඔහු තර්ක කරයි.
කෙසේ වෙතත්, ප්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් මෙම මතය තවමත් පිළිගෙන නොමැත.
අයිස් යුගයට පෙර මෙතරම් දියුණු ලෝක ව්‍යාප්ත ශිෂ්ටාචාරයක් පැවති බවට මෙතෙක් නිල විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වී නොමැති බව ඔවුන්ගේ මතයයි.
නමුත් ලක්‍රොයික්ස් පවසන්නේ 2025 නොවැම්බර් මාසයේදී තමන් සිදුකළ නවතම නිරීක්ෂණ මගින් ඊජිප්තු පිරමිඩ සංකීර්ණ තුළ සැඟවුණු ජ්‍යාමිතික රටා රැසක් හඳුනාගත් බවත්, එමඟින් ඉතිහාසය යළි ලිවීමට සිදුවනු ඇති බවත්ය.