පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් හි ෂියා මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් 80 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් පවසයි.
සිකුරාදා දහවල් කාලයේ බැතිමතුන් විශාල පිරිසක් යාඥාව සඳහා රැස්ව සිටි අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇත.
පොලිස් නිලධාරී සෆාර් ඉක්බාල් (Zafar Iqbal) ප්‍රකාශ කළේ පිපිරීමෙන් තුවාල ලැබූ විශාල පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති බවයි.
“මියගිය නිවැරදි සංඛ්‍යාව මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකි වුවත්, පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සහතිකයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්ද නැතහොත් අටවන ලද බෝම්බයක් මගින් සිදු වූවක්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැත.
පොලිස් කණ්ඩායම් සහ ආරක්ෂක අංශ මේ වන විට එම ප්‍රදේශය වටලා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.
පාකිස්ථානයේ මෑතකාලීනව ආගමික ස්ථාන ඉලක්ක කරගනිමින් මෙවැනි ප්‍රහාර එල්ල වීම ඉහළ ගොස් ඇති අතර, මෙම සිදුවීමත් සමඟ අගනුවර ආරක්ෂාව දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.