Latest News

ශ්‍රී ලංකාවේ වසර 35ක් පැවති බස් හිමියන්ගේ ගැටලුවකට විසඳුමක්

Published 1 hour ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පෞද්ගලික බස් කර්මාන්තයේ නියැලෙන්නන් වසර 35ක් තිස්සේ මුහුණ දුන් ප්‍රධානතම ගැටලුවකට විසඳුම් ලබා දෙමින්, මගී සේවා බලපත්‍ර (Bus Permits) වෙනත් පාර්ශවයකට පැවරීමේ නීත්‍යානුකූල අවස්ථාව අද සිට ක්‍රියාත්මක වේ.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ (NTC) සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා සහ අමාත්‍යාංශයේ නීති නිලධාරී ප්‍රියන්ති ගුණසේකර මහත්මියගේ සහභාගීත්වයෙන් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව නිල වශයෙන් නිවේදනය කෙරිණි.

1991 අංක 38 දරන ජාතික ප්‍රවාහන කොමිෂන් සභා පනත යටතේ මෙතෙක් පැවති නීතිය අනුව, බස් බලපත්‍රයක් වෙනත් පුද්ගලයෙකුට පැවරීම නීත්‍යානුකූලව තහනම් කර තිබුණි.

යම් හෙයකින් එවැනි පැවරීමක් සිදු කළහොත් එය ශුන්‍ය හෙවත් බල රහිත ක්‍රියාවක් ලෙස සැලකූ අතර, එමගින් බස් හිමියන් මෙන්ම ගැනුම්කරුවන්ද දැඩි ප්‍රායෝගික දුෂ්කරතාවලට මුහුණ දුන්හ.

මෙම ගැටලුවට විසඳුම් ලෙස 2025 අංක 08 දරන ජාතික ප්‍රවාහන කොමිෂන් සභා (සංශෝධිත) පනත හරහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කරන ලදී.

ඒ අනුව, මගී සේවා බලපත්‍ර පැවරීමේ රෙගුලාසි ඇතුළත් 2026 ජනවාරි 17 දිනැති අංක 2471/68 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අද දින සිට බලාත්මක කර ඇත.

නව රෙගුලාසි මාලාව යටතේ බස් හිමියන්ට තම බලපත්‍රය වෙනත් අයෙකුට පැවරිය හැක්කේ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව විසින් පනවා ඇති කොන්දේසිවලට යටත්ව පමණි.

එනම්,

1) බලපත්‍රය පවරන සහ ලබාගන්නා දෙපාර්ශවයම නියමිත සුදුසුකම් සපුරා තිබිය යුතුය.

2) සියලු මාරුවීම් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ නීත්‍යානුකූලව සිදුවිය යුතුය.

මෙම ඓතිහාසික තීරණයත් සමඟ මීට පෙර අන්තිම කැමති පත්‍රයකින් හෝ වෙනත් අයුරකින් බලපත්‍ර මාරු කිරීමේදී පැනනැඟුණු ගැටලු රැසක් අවසන් වනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

World News

Send your contact Details Today