යුරෝපා සංගමයේ රටවලට භාණ්ඩ අපනයනයේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට තීරුබදු සහන ලබාදීමේ ජී.එස්.පී. ප්ලස් යෝජනා ක්‍රමය සමාලෝචනය කිරීම සඳහා එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් පාකිස්තානයට පැමිණ සිටින බව යුරෝපියන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය.
වසර 2023 ඔක්තෝබරයේදී පාකිස්තානයේ ජී.එස්.පී.ප්ලස් සහනය තවත් වසර 4කට දීර්ඝ කිරීම යුරෝපීය පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කිරීමෙන් පසු එරට තත්ත්වය පිළිබඳ සමාලෝචනය කෙරෙන පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වේ.
ජී.එස්.පී.ප්ලස් සහන සැලසීමේදී යුරෝපා සංගමය මානව හිමිකම් සහ යහපාලනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත්, මෑත කාලයේ පාකිස්තානයේ පෂ්තුන් ජන වර්ගයට අයත් සුළුතර ජාතීන් ඉලක්ක කරමින් එරට කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම ඇතුළු තවත් චෝදනා රැසක් සම්බන්ධව එම සංගමයේ නියෝජිතයන් සමාලෝචනය කර ඇතැයි ද වාර්තා වේ.
ජී.එස්.පී.ප්ලස් සහන සැලසීමේදී නව කොන්දේසි පැනවීමෙන් වළකින ලෙස පාකිස්තාන රජය යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද එරට වාණිජ කටයුතු ඇමැති ජම් කමල් ඛාන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.