රුසියාවට එරෙහිව යුද්ධ කිරීම වෙනුවෙන් අමෙරිකාවේ නිෂ්පාදිත අධිබලැති ටොමාහෝක් කෲස් මිසයිල වොෂින්ටනයේදී ඉල්ලා සිටි යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කිට එම අදහස අත්හැර දමා හිස් අතින් ආපසු පැමිණීමට සිදුව ඇතැයි මාධ්‍ය වාර්තා පවසනවා.
ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ධවල මන්දිර රැස්වීමේදී මේ බව ඉල්ලා සිටි අවස්ථාවේදී ටොමාහෝක් මිසයිල සැපයීමට තමන් සූදානම් නැති බවට ට්‍රම්ප් ඉඟි කිරීම ඊට හේතුවයි.
දෙපාර්ශ්වය අතර සුහද ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් පසුව, තමන් දිගු දුර මිසයිල ගැන කතා කළ බව සෙලෙන්ස්කි පැවසුවා.
නමුත් අමෙරිකාව යුක්රේන-රුසියා යුද්ධයේ උත්සන්නවීමක් අපේක්ෂා නොකරන බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නොකිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම සාකච්ඡාවෙන් පසු ට්‍රම්ප්, යුක්රේනය සහ රුසියාව වෙත සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින්, “තමන් සිටින තැන නැවතී යුද්ධය අවසන් කරන්නැයි” ඉල්ලා සිටියා.
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මීට සති දෙකකට පෙර පවසා තිබුණේ අමෙරිකාව, යුක්රේනයට ටොමාහෝක් මිසයිල යවනු ඇතැයි තමාට සැක බවයි.
ඔහු අදහස් කර තිබුණේ එවැන්නක් සිදු නොවනු ඇති බවටයි.
සෙලෙන්ස්කිගේ විශ්වාසය වන්නේ රුසියානු තෙල් හා බලශක්ති පහසුකම්වලට පහර දීම සඳහා ටොමහොක් භාවිතා කිරීම පුටින්ගේ යුද ආර්ථිකය දැඩි ලෙස දුර්වල කරනු ඇති බවයි.
මිසයිල යැවීම යුද්ධය උත්සන්න කිරීමක් බව ට්‍රම්ප් පැහැදිලිවම පවසා තිබෙනවා. “නමුත් අපි ඒ ගැන සාකච්ඡා කරමු” යනුවෙන් ද ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටි බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම එය ප්‍රතික්ෂේප නොකළද, සිකුරාදා ධවල මන්දිරයේදී ඒ පිළිබඳ ඔහුගේ ස්ථාවරය අවිනිශ්චිත වුණා. “ඔවුන්ට එය අවශ්‍ය නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා, අපි බලාපොරොත්තු වෙමු අපට ටොමාහෝක් ගැන නොසිතා යුද්ධය අවසන් කිරීමට හැකි වේවි කියා” යැයි පැවසූ ඔහු තවදුරටත් කියා සිටියේ අමෙරිකාවට ද එම ආයුධ අවශ්‍ය බවයි.
යුක්රේන නායකයා යෝජනා කළේ, ටොමාහෝක් වෙනුවට තම රටෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා ලබා දිය හැකි බවයි. මේ යෝජනාවට ට්‍රම්ප් සිනහවකින් හා හිස සැලීමකින් ප්‍රතිචාර දක්වා තිබුණා.
ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර රැස්වීම පැවැත්වුණේ, ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ දුරකථනයෙන් කතා කර දිනකට පසුවයි.
එහිදී දෙදෙනා හංගේරියාවේදී ඉක්මනින් හමුවීමට එකඟ වී තිබුණා.
බ්‍රහස්පතින්දා පුටින් සමඟ කළ දුරකථන සංවාදයේදී ලොකු ප්‍රගතියක් ඇති වූ බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.
රැස්වීමෙන් පසු සෙලෙන්ස්කි පැවසුවේ තමන් යුරෝපීය නායකයන්ට ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡා පිළිබඳ විස්තර බෙදා ගත් බවයි.
ඔහුගේ ප්‍රධාන ප්‍රමුඛතාවය වන්නේ “හැකි තරම් ජීවිත ආරක්ෂා කිරීම, යුක්රේනයට ආරක්ෂාව සහතික කිරීම සහ යුරෝපයේ අප සියලු දෙනා ශක්තිමත් කිරීම” බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ටොමාහෝක් මිසයිල යනු අමෙරිකාවේ සීමිත ලෙස නිෂ්පාදිත, දිගු දුර කෲස් මිසයිලයක්. මෙය ගොඩබිම් ප්‍රහාරක මිසයිලක් වන අතර ගැඹුරු ප්‍රහාරක මෙහෙයුම්වලදී ඉලක්කවලට පහර දීම සඳහා සාමාන්‍යයෙන් මුහුදේ සිට දියත් කරන ලද දිගු දුර, මාර්ගෝපදේශ කෲස් මිසයිලයක්. දීර්ඝතම දුර කිලෝමීටර 2,500 ක දක්වා පරාසයක් ඊට පවතින බව සඳහන්.