ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් ඊශ්‍රායලය සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගය අවලංගු කරන ලෙස ඉල්ලා පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පිරිසක් පසුගිය දා ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණු මධ්‍යස්ථානයේ දොරටු අභියසට රැස්වුණා.
මෙම විරෝධතාව, ඊශ්‍රායල හමුදා විසින් ආධාර රැගත් නෞකා පෙළක් අතරමගදී නැවැත්වීමට එරෙහිව දියත් කෙරුණු ජාතික මට්ටමේ විරෝධයක කොටසක් ලෙස පැවැත්වුණා.
ෆ්ලෝරන්ස් හි පිහිටි කොවර්සියානෝ පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින් එම අවස්ථාවේදී රැඳී නොසිටි අතර, ලබන සඳුදා දිනයේදී ඔවුන් එම මධ්‍යස්ථානයේදී එක්රැස්වීමට නියමිතව තිබුණා.
පාපන්දු සංකීර්ණයට විරුද්ධ පස මාර්ගයේ සාමකාමීව හැසිරුණු විරෝධතාකරුවෝ, “ප්‍රතිරෝධය තුළින් සියොන්වාදය නවතමු” යනුවෙන් ඉතාලි බසින් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කළා.
එහිදී විරෝධතාව මෙහෙයවූ නායකයෙකු විසින්, “සියොන්වාදී සහ අපරාධකාරී රාජ්‍යයක් වන ඊශ්‍රායලයට පාපන්දු තරග ක්‍රීඩා කිරීමට තවමත් ඉඩ දෙන්නේ කෙසේද?” යනුවෙන් හඬනගා ප්‍රශ්න කළා.
ලබන ඔක්තෝබර් මස 14 වන දින ඉතාලියේ උඩිනේ නගරයේදී ඊශ්‍රායල කණ්ඩායම පිළිගැනීමට ඉතාලිය සූදානමින් සිටියද, ගාසා තීරයේ යුදමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් යුරෝපීය පාපන්දු සංගමය (UEFA) මේ වනවිටත් සලකා බලමින් සිටිනවා.
ඊශ්‍රායල නාවික හමුදාව විසින් ‘ග්ලෝබල් සමුද්’ නෞකා පෙළ නවතා එහි ක්‍රියාකාරීන් රඳවාගැනීමෙන් පසුව, පසුගිය බදාදා රාත්‍රියේ සිට ඉතාලිය පුරා විරෝධතා රැසක් දියත් කෙරුණා.
පලස්තීනුවන්ට සහ නෞකා පෙළට සහයෝගය දැක්වීම සඳහා රටේ විශාලතම වෘත්තීය සමිති විසින් කැඳවනු ලැබූ එක්දින මහා වැඩ වර්ජනයක් හේතුවෙන් සිකුරාදා දිනයේදී කම්කරුවන් සහ සිසුන් වීදි බැස තිබුණා.
මේ හේතුවෙන් දුම්රිය ගමන් සිය ගණනක් අවලංගු වූ අතර හෝ ප්‍රමාද වූ අතර, දේශීය ගුවන් ගමන් කිහිපයක්ද අවලංගු විය. එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික පාසල් රැසක්ද වසා දමා තිබුණා.
ගාසා තීරයේ යුද්ධය මුල් කරගනිමින් ඊශ්‍රායලය ජාත්‍යන්තර තරගවලින් අත්හිටුවිය යුතු බවට ඉතාලි පාපන්දු පුහුණුකරුවන්ගේ සංගමය (AIAC) විසින් පසුගිය අගෝස්තු මාසයේදීද බලපෑම් කර තිබුණා.