කෘත්‍රිම බුද්ධියෙන් (AI) ක්‍රියාත්මක වන මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය භාවිතා කරන නිරීක්ෂණ කැමරා දහස් ගණනක් හොංකොං පුරාම සවිකිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස් අපරාධ මැඩලීමේ වැඩසටහනක් යටතේ දැනටමත් සංවෘත පරිපථ රූපවාහිනී (CCTV) කැමරා 4,000ක් පමණ හොංකොං මූල්‍ය කේන්ද්‍රස්ථානයේ සවිකර ඇති බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.
ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව, 2028 වන විට එම සංඛ්‍යාව 60,000 දක්වාවැඩි කිරීමට නියමිතයි.
හොංකොංහි ආරක්ෂක ප්‍රධානී ක්‍රිස් ටැං පැවසුවේ, AI තාක්ෂණය මිනිස් සමූහයන් නිරීක්ෂණය කිරීමට සහ බලපත්‍ර තහඩු කියවීමට දැනටමත් භාවිතා කරන බවයි.
මෙම තාක්ෂණය “අපරාධ සැකකරුවෙකු ලුහුබැඳීම වැනි පුද්ගලයන්ට ස්වභාවිකවම යොදනු ඇති” බවද ඔහු පවසා තිබෙනවා.
මෙම සැලැස්ම මගින්, බලධාරීන් විසින් නූතන තාක්ෂණය භාවිතයෙන් පොදු ස්ථාන නිරීක්ෂණය කරන චීනයට හොංකොං වඩාත් සමීප කරවන බව ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කළා.
ටැං තවදුරටත් කියා සිටියේ, බලධාරීන් සම්පත් වෙන් කිරීම සහ තාක්ෂණය තෝරා ගැනීම වැනි කරුණු තවමත් සලකා බලමින් සිටින නමුත්, මෙය කළ යුතු දෙයක් බවයි.
පොලිසිය පවසන්නේ SmartView වැඩසටහන ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීමට මෙන්ම අපරාධ වැළැක්වීමට සහ හඳුනා ගැනීමට අවශ්‍ය බවයි.
පසුගිය වසරේ මෙම වැඩසටහන දියත් කළ දා සිට CCTV කැමරා භාවිතය හේතුවෙන් නඩු 400කට වැඩි ප්‍රමාණයක් විසඳීමට සහ අත්අඩංගුවට ගැනීම් 787ක් සිදු කිරීමට හැකිව තිබෙනවා.
මෙම තාක්ෂණය බ්‍රිතාන්‍යයේ ද භාවිතා කර ඇතත්, විචාරකයින් තර්ක කරන්නේ එය රජයටමහා පරිමාණයෙන් පුද්ගලිකත්වයට ආක්‍රමණය කිරීමට අනවසර බලයක්ලබා දෙන බවයි.
වැරදි ගැළපීම් හේතුවෙන් වැරදි අත්අඩංගුවට ගැනීම් සිදුවීම සම්බන්ධයෙන් ද කනස්සල්ල මතු වී තිබෙනවා.
ජෝර්ජ්ටවුන් ආසියානු නීති මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන එරික් ලායිසඳහන් කළේ, හොංකොං පොලිසිය ස්වාධීන නිරීක්ෂක මණ්ඩලවල අධීක්ෂණයට යටත් නොවන බවයි.
නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් AI භාවිතය සම්බන්ධයෙන් හොංකොං හි දැනට පැහැදිලි නීතිරීති ක්‍රියාත්මක වන්නේ නැහැ.
ලායි වැඩිදුරටත් පැවසුවේ, AI තාක්ෂණය යෙදවීමේදී පොලිස් බලය අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීමට පවතින නීතිමය සහ නියාමන රාමුව ප්‍රමාණවත් දැයි ප්‍රශ්න සහගත බවයි.
යුරෝපා සංගමය විසින් පසුගිය වසරේ සම්මත කරන ලද කෘත්‍රිම බුද්ධි පනත යටතේ, ඇතැම් කරුණු හැර, නීතිය බලාත්මක කිරීමේ අරමුණු සඳහාපොදු ස්ථානවල එසැණින් හඳුනාගැනීමේදුරස්ථ ජෛවමිතික පද්ධතිභාවිතය තහනම් කර තිබුණා.