Latest News

ජපානයට පළමුවර‍ට අගමැතිවරියක් පත්වන ලකුණු

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා 2025 සැප්තැම්බර් 7 වන දින සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, රටේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) නව නායකයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඔක්තෝබර් 4 වන දින මැතිවරණයකට සූදානම් වනවා.

ජපානයේ දේශපාලන සම්ප්‍රදායට අනුව, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ නායකයා අග්‍රාමාත්‍ය ධුරයට පත්වන බැවින් මෙම නායකත්ව සටන ජාතික වශයෙන් තීරණාත්මක වී තිබෙන බව සඳහන්.

අගමැති ධුරය සඳහා අපේක්ෂකයින් පස් දෙනෙකු තරඟ වැදුනද, ප්‍රධාන තරඟය අපේක්ෂකයින් දෙදෙනෙකු අතර පවතින බව පැහැදිලියි.

කියෝඩෝ පුවත් සේවය විසින් සිදු කරන ලද මත විමසුමකට අනුව, හිටපු ආර්ථික ආරක්ෂක අමාත්‍යවරියක වන සනායි තකයිචි 34.4% ක ප්‍රතිශතයක් ලබා ගනිමින් පෙරමුණේ පසුවනවා.

ඇය මෙම තරගය ජයග්‍රහණය කළහොත් ජපානයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක්වනු ඇති.

ඇයට සමීපතම තරඟයක් ලබා දෙමින් කෘෂිකර්ම අමාත්‍ය ශින්ජිරෝ කොයිසුමි 29.3% ක සහායක් ලබා දෙවන ස්ථානයේ පසුවනවා.

ඔහු ජයගතහොත්, 45 හැවිරිදි වියේ පසුවන කොයිසුමි ජපානයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා බවට පත්වනු ඇති.

අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබාගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ පාලක පක්ෂය ලැබූ අඛණ්ඩ මැතිවරණ පරාජයන්ය.

2024 සැප්තැම්බර් මාසයේදී ධුරයට පත් ඉෂිබා මහතාගේ නායකත්වය යටතේ, 2024 ඔක්තෝබර් මස පැවති පහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් සහ 2025 ජූලි මස පැවති ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානයට සිය බහුතර බලය අහිමි වුණා.

1955 වසරෙන් පසු එම පක්ෂය පාර්ලිමේන්තුවේ මණ්ඩල දෙකෙහිම බහුතරය අහිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය වූ අතර, පක්ෂය තුළින්ම ඔහුට ඉල්ලා අස්වන ලෙස දැඩි පීඩනයක් එල්ල වුණා.

හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ යුගයෙන් පසුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙනවා.

2023-24 වර්ෂවලදී හෙළිදරව් වූ අරමුදල් වංචා සහ 2022 දී අබේ මහතාගේ ඝාතනයෙන් පසු මතුවූ මතභේදාත්මක ආගමික කණ්ඩායම් සමග පැවති සබඳතා හේතුවෙන් පක්ෂය කෙරෙහි මහජන විශ්වාසය පළුදු වී තිබෙනවා.

රටේ උද්ධමනය, සහල් මිල ඉහළ යාම සහ යෙන් මුදල් ඒකකය දුර්වල වීම වැනි ආර්ථික ගැටලු පිළිබඳව ඡන්දදායකයින් තුළ පවතින අප්‍රසාදය පසුගිය මැතිවරණ පරාජයන්ට සෘජුවම බලපෑවා.

මෙම තත්ත්වය හමුවේ, ‘ජපානයට ප්‍රමුඛත්වය’ වැනි සටන් පාඨ පෙරදැරි කරගත් දක්ෂිණාංශික පක්ෂ වෙත තරුණ ඡන්දදායකයින්ගේ නැඹුරුවක් දක්නට ලැබෙනවා.

ෂින්සෝ අබේගෙන් පසු පක්ෂය තුළ මතුව ඇති කල්ලිවාදය සහ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට සුළුතර ආණ්ඩුවක් පවත්වාගෙන යන අතර, විපක්ෂය ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතිනවා.

World News

Send your contact Details Today