රුසියානු ඩ්‍රෝන යානා වරින් වර සිය ගුවන් අවකාශයට අනවසරයෙන් ඇතුළුවීම් සිදුවීම හේතුවෙන් ‘ඩ්‍රෝන් ආරක්ෂක පවුරක්’ සැකසීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ නායකයින් අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හිදී රැස්වීමේ දී යි.
මෙම ‘ඩ්‍රෝන පවුර’ යනු භෞතික බිත්තියක් වෙනුවට, අනවසරයෙන් ඇතුළු වන, මිනිසුන් රහිත ගුවන් යානා හඳුනා ගැනීමට, ලුහුබැඳීමට සහ උදාසීන කිරීමට සංවේදක සහ ආයුධ ජාලයකින් සමන්විත ස්ථර සහිත පද්ධතියක්.
මෙය එක් එක් යුරෝපාසාමාජික රටවල ඩ්‍රෝන විරෝධී හැකියාවන් මත ගොඩනැගෙනු ඇති බවයි පැවසෙන්නේ.
මෙම සැලසුම දැනටමත් ක්‍රියාත්මක වන යුරෝපීය රහස් ආරක්ෂක මුලපිරීමසමඟ සම්බන්ධ විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
2022 යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියාව තම මහාද්වීපයේ ආරක්ෂාවට ඇති ප්‍රධාන තර්ජනයක් ලෙස යුරෝපා නායකයින් සළකනවා.
මෙම සිදුවීම් හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කිරීමට ඇති උත්සාහයන් වේගවත් වී තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
ඩෙන්මාර්ක අගමැති මෙටේ ෆෙඩ්රික්සන් මෙම රැස්වීමෙන් පසු අදහස් දක්වමින්, “යුරෝපයට තමන්ව ආරක්ෂා කර ගැනීමට හැකිවිය යුතුයි”යනුවෙන් ප්‍රකාශ කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ, ඩ්‍රෝන යානා නිෂ්පාදනය සහ ඩ්‍රෝන විරෝධී හැකියාවන් ශක්තිමත් කළ යුතු බවත්, “පිටතින් සිදුවන අනවසරයෙන් ඇතුළුවීම ආරක්ෂා කිරීමට හා උදාසීන කිරීමට හැකිවන යුරෝපීය ඩ්‍රෝන විරෝධී ජාලයක් ගොඩනැගීම” මෙයට ඇතුළත් වන බවයි.
මෑතකදී රුසියාව විසින් පෝලන්තය හරහා ඩ්‍රෝන යානා සහ එස්තෝනියාව හරහා ප්‍රහාරක ජෙට් යානා මඟින් යුරෝපා කලාපයේ ගුවන් අවකාශය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කර ඇති බවට යුරෝපීය බලධාරීන් චෝදනා කරනවා.
පෝලන්තයට රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ ඇතුළු වීමෙන් යුරෝපයේ ආරක්ෂක හැකියාවන්හි ඇති හිඩැස් හෙළිකළ බවයි නිලධාරීහු සහ විශ්ලේෂකයෝ පවසන්නේ.
යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ඩර් ලේන් පැවසුවේ, “රුසියාව අපව පරීක්ෂා කිරීමට උත්සාහ කරනවා එහෙත් රුසියාව අපගේ සමාජයන් තුළ බෙදීම් සහ කනස්සල්ල වපුරන්නට ද උත්සාහ කරනවා. අප ඊට ඉඩ දෙන්නේ නෑ”යනුවෙන්.
වොන් ඩර් ලේන් පසුගිය මාසයේදී යෝජනා කළේ, “ඩ්‍රෝන පවුර” (Drone Wall) ලෙස හැඳින්වෙන වැඩසටහනක්. යුරෝපා නායකයින් බදාදා දින කෝපන්හේගන්හිදී මෙම අදහසට සහාය පළ කළා.
වොන් ඩර් ලේන් තවදුරටත් ප්‍රකාශ කළේ, මෙම‘ඩ්‍රෝන පවුර’යුරෝපයේ නැගෙනහිර තීරුවේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙනු ඇති නමුත්, මුළු මහද්වීපය සඳහාම පලිහක් ලෙස භාවිත කිරීමට එමගින් අදහස් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඉතාලි අගමැති ජෝර්ජියා මෙලෝනි කියා සිටියේ, නැගෙනහිර තීරුව කෙරෙහි අවධානය යොමු කිරීමේදී යුරෝපයේ දකුණු මායිම් ද නොසලකා හැරිය යුතු නැති බවයි.
නේටෝ මහලේකම් මාර්ක් රූට් මෙම “ඩ්‍රෝන පවුර” පිළිබඳ අදහස කාලීන අවශ්‍යතාවක් බව පවසමින් එය අගය කර තිබුණා.
මේ සඳහා වන පිරිවැය සම්බන්ධයෙන් ඔහු කරුණු දැක්වූයේ, ‘අවසානයේදී, ඩොලර් දහස් ගණනක් පමණක් වැය වන ඩ්‍රෝන යානා විනාශ කිරීමට මිලියන ගණනක් යුරෝ හෝ ඩොලර් මිසයිල සඳහා වැය කළ නොහැකියි’ යනුවෙන්.
රුසියාව, ඩෙන්මාර්කය හරහා ඩ්‍රෝන යානා පැමිණීම හෝ එස්තෝනියානු ගුවන් අවකාශයට සිය ප්‍රහාරක ජෙට් යානා ඇතුළු වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
රුසියානු ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් මෙම ‘ඩ්‍රෝන පවුර’ පිළිබඳ යුරෝපයේ කතාව විවේචනය කළා.
‘ඉතිහාසය පෙන්වා දී ඇති පරිදි, පවුරු ඉදිකිරීම සැමවිටම නරක දෙයක්’ බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මෙම මුලපිරීම යුරෝපා සංගමය විසින් සකස් කරමින් සිටින”ආරක්ෂක සූදානම් මාර්ග සිතියම” තුළ ඇතුළත් ප්‍රධාන ආරක්ෂක ව්‍යාපෘති හතරෙන් එකක්.
යුරෝපා කොමිසම තවමත් මෙම ඩ්‍රෝන පවුර සඳහා වන පිරිවැය සහ ප්‍රායෝගික කරුණු පිළිබඳව ප්‍රශ්න ඉතිරි කරමින් සවිස්තරාත්මක සැලැස්මක් ඉදිරිපත් කර නැහැ.
අනෙකුත් යුරෝපීය රටවල් විසින් එවන ලද හමුදා සහ ඩ්‍රෝන විරෝධී පද්ධති මගින් රැස්වීමේ ආරක්ෂාව ශක්තිමත් කර තිබූ අතර, හෙට දින දක්වා ඩෙන්මාර්කය පුරා සියලුම ඩ්‍රෝන ගුවන් ගමන් තහනම් කර තිබෙනවා.