අසභ්‍ය දර්ශන සහ වීඩියෝපට ප්‍රදර්ශනය ඇතුළු අනාචාර ක්‍රියා වැළැක්වීමේ අරමුණින් ඇෆ්ගන් ජනතාවට අන්තර්ජාල ප්‍රවේශය සීමා කරන බවට නිවේදනය කළ තලේබාන් රජය ඊයේ වනවිට රට පුරා අන්තර්ජාල පහසුකම් විසන්ධි කිරීමට පියවර ගෙන තිබෙනවා.
නෙට්බ්ලොක්ස් අන්තර්ජාල නිරීක්ෂණ ආයතනය නිවේදනය කර ඇත්තේ පෙරේදා පස්වරුවේ සිට තලේබාන් රජය එම පියවර ක්‍රියාත්මක කර ඇති බවයි.
ඇෆ්ගනිස්තානයේ අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම කපා හැරීමෙන් එරට මිලියන 43ක ජනතාව ජාත්‍යන්තරයෙන් හුදෙකලා වී ඇතැයි ද, විදෙස්ගතව සිටින සිය පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතාව බිඳ වැටීමෙන් දැඩි අපහසුතාවට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
අන්තර්ජාල පහසුකම් අත්හිටුවීමෙන් එරට ජංගම දුරකතන සහ චන්ද්‍රිකා තාක්ෂණයෙන් යුතු රූපවාහිනි පද්ධතියට ද බලපෑම් එල්ල වී ඇති අතර, කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් මෙහෙයුම්වලට ද බාධා එල්ල වී තිබෙන බවත් වාර්තා වනවා.