ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ ඉන්දීය පිල මෙහෙයවීමේ වගකීම හර්දික් පාණ්ඩ්‍යාට හිමිව තිබෙන බව වාර්තා වනවා.
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නායක රෝහිත් ෂර්මා සහ සුපිරි පිතිකරු විරාට් කෝලි ජාත්‍යන්තර විස්සයි20 පිටියට සමුදුන් අතර, ඒ අනුව ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා පත්වනු ඇති බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන බවයි එරට ප්‍රධාන පෙළේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මේ අතර විස්සයි20න් සමුගත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ශර්මා සහ කෝලි සමඟ ජස්ප්‍රිට් බුම්රා ද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියෙන් විවේක ගැන්වීමට කටයුතු කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ අතර, ඒ අනුව එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලෝකේෂ් රාහුල්ට හිමිවීමට ඉඩ ඇතැයි ද එම වාර්තා සඳහන් කර තිබෙනවා.
මේ කණ්ඩායම් දෙකම නව ප්‍රධාන පුහුණුකරුවන් යටතේ මේ තරගාවලියට එක්වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය නම් කර ඇති අතර, විස්සයි20 ලෝක ශූරතාව දිනා ගැනීමෙන් පසු ඉවත්වූ රාහුල් ඩ්‍රාවිඩ් වෙනුවට ගෞතම් ගාම්භීර් ඉන්දීය නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණා.
දෙපිල අතර විස්සයි20 තරගාවලිය රාත්‍රි තරග ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී මේ මස 26, 27 සහ 29 පැවැත්වෙන අතර, එක්දින තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරග ලෙස පැවැත්වෙන්නේ ලබන මස 1, 4 සහ 7 දිනවලයි.
ඉන්දීය පිල අවසන් වරට 2021 වසරේ ජූලි මස ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ අතර, එහිදී තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජයගත් අතර, ශ්‍රී ලංකාව තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තා.