පාකිස්තාන රජය දුරකතන සංවාදවලට සවන්දීමේ පද්ධතියක් සහ සමාජ මාධ්‍යජාලා වාරණය කිරීම සඳහා චීනයේ නිෂ්පාදිත අන්තර්ජාල ආරක්ෂක උපාංගයක් භාවිත කරමින් එරට මිලියන ගණනාවක පුරවැසියන් පිළිබඳ ඔත්තු බලමින් සිටින බවට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කර තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.
වාර්තාවක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එම අනාවරණය සිදු කර ඇති අතර, චීන සහ බටහිර නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් එම කටයුතු සිදු කරනු ලබන්නේ එරට භාෂණ නිදහස සහ රජයට එරෙහි උද්ඝෝෂණ හා විරෝධතා වැළැක්වීම අරමුණින් බවයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.
මෑත වසර කිහිපය ඇතුළත පාකිස්තානයේ මාධ්‍ය නිදහස සහ දේශපාලන නිදහස සීමා කිරීමට සහ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරගැනීම සඳහා පවත්වනු ලැබූ දැවැන්ත විරෝධතා අසාර්ථක කිරීමට පාකිස්තාන රජය සමත්වී ඇත්තේ ඒ අනුව බවද වාර්තා වනවා.
පාකිස්තාන රජය භාවිත කරන එම උපාංග මඟින් එක වරක් ජංගම දුරකතන මිලියන 4ක් පමණ සීමා අවහිර කිරීමේ හැකියාව තිබෙන බව ද වාර්තා වනවා.