Latest News

9/11 ප්‍රහාරයෙන් දිවි ගලවාගත් සුරතලිය

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 24ක් ගතවී ඇතත් ඒ අඳුරු මතකයට එක්වූ තවත් එක් විශේෂ සිදුවීමක් ගැන අදටත් ලෝකයා තුළ කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඒ සිවුපා සත්වයකුගේ වුවද පවතින බුද්ධිය, ධෛර්යය සහ මානව ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳවයි.

මෙතැන් සිට දිගහැරෙන්නේ එදා ප්‍රහාරය සිදුවීමට මොහොතකට පෙර සිට වූ ලොවක් විස්මයට පත්කළ එම සිදුවීමයි.

2001 සැප්තැම්බර් 11 වන දින, මයිකල් හින්ග්සන් නිව්යෝර්ක්හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 1 වන කුළුණේ (උතුරු කුළුණ) 78 වන මහලේ සේවය කරමින් සිටියා. ඔහු අන්ධ පුද්ගලයෙක්. 1999 වසරේ සිට ඔහුගේ මඟපෙන්වන සුනඛයා ලෙස කටයුතු කළේ රොසෙල්. ඒ මොහොත උදාවන විටත් රොසෙල් සිටියේ ඔහුගේ මේසය යට නිදාගෙනයි.

විශාල ශබ්දයක් සමඟ ඇතිවූ කම්පනයක් නිසා ඔවුන් දෙදෙනාම තිගැස්සුණා. මොහොතකට පසු, මුළුමහත් වටපිටාවම කණපිට පෙරළුණේ ඇසිල්ලකින්. ඒ, අල්කයිඩා සංවිධානයේ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් විසින් පැහැරගත් ඇමරිකන් එයාර්ලයින්ස් 11 ගුවන් යානය ඔවුන්ට ඉහළින් මහල් 15ක් උඩින් ගැටුණු විටදීයි. සියල්ලන්ම සිදුවන්නේ කුමක්දැයි වටහා ගැනීමට දිව ගියා. ගොඩනැගිල්ල දුමෙන් පිරී සුන්බුන් පාවෙද්දී, රොසෙල් හිටියේ සන්සුන්ව, තමා කළ යුතු දේ දැනගෙනයි. ඇය, තමාගේ අන්ධ හිමිකරු වූ හින්ග්සන්ව ගොඩනැගිල්ලෙන් පිටතට යාමට B පඩිපෙළ වෙත මඟ පෙන්වූවා.

ඔවුන් 78 වන මහලේ සිටි බැවින්, කුළුණෙන් පිටවීම සඳහාපඩිපෙළෙහි පියවර 1,463ක් පහළට යාමට සිදුවෙනවා. ඒ අවස්ථාවේ ඒක කිසිසේත්ම ප්‍රායෝගික නැතත්සිදුවෙමින් තිබූ සියල්ල මධ්‍යයේ වුවද, රොසෙල් හින්ග්සන් ආරක්ෂිතව පඩිපෙළෙන් පහළට ගෙන ගියා. අනපේක්ෂිත ප්‍රහාරයෙන් බේරීමට තවත් තිස් දෙනෙකු ද ඔවුන් සමඟ එකතු වූණා. පැයකට වැඩි කාලයක් තුළ රොසෙල් ඔවුන් සියලු දෙනාම ගොඩනැගිල්ලෙන් පිටතට ගෙන ගියේ නියම ගැලවුම්කාරියක ලෙසයි.

ඔවුන් පිටතට පැමිණි විගසම, 2 වන කුළුණ වූ දකුණු කුළුණ කඩා වැටුණේ හරියට කාඩ් ගොඩක් වගේ. සෑම තැනකම විසිරී ගිය සුන්බුන් ඔවුන්ගේ සිරුරේ ද වැදුණා. රොසෙල්ටත් එහි වෙනසක් නැතත් ඇය කිසිසේත්ම පසුබැස්සේ නැහැ. ඇය හින්ග්සන්ව උමං දුම්රිය ස්ථානයක ආරක්ෂිත ස්ථානයකට ගෙන ගිය අතර, වැටුණු සුන්බුන් නිසා ඇස් අන්ධ වූ තවත් කාන්තාවක්ද බේරා ගැනීමට රොසෙල් උදව් කළා.

ප්‍රහාරයෙන් වූ බලපෑම් මධ්‍යයේ වුවත් රොසෙල්ගේ ධෛර්යය පිළිබඳ කතාව ලොව පුරා ප්‍රවෘත්තිවල සිරස්තල බවට පත්වුණා. ඇය 9/11 ප්‍රහාරයේදී තම හිමිකරු සහ තවත් 30 දෙනෙකු බේරා ගැනීම නිසා රොසෙල්ට ඇයගේ වීර ක්‍රියාව වෙනුවෙන් සම්මාන පිරිනැමුණා. ඔවුන් රූපවාහිනී වැඩසටහන් කිහිපයකද පෙනී සිටියාය. ඇගේ බුද්ධියත්, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම, ධෛර්යය, ඔරොත්තු දීමේ හැකියාව නිසා හින්ග්සන් අභිප්‍රේරණ කථිකයෙකු බවට පත්වුණා.

හින්ග්සන්ට පරිගණක විකුණුම්කරුවෙකු ලෙස රැකියාවෙන් ඉවත් වී, Guide Dogs for the Blind හි මහජන කටයුතු අධ්‍යක්ෂලෙස කටයුතු කළා. ඔහු සුසී ෆ්ලෝරි නම් කතුවරිය සමඟ එක්ව රොසෙල්ගේ ධෛර්යය පිළිබඳ පොතක් පවා ලියා තැබුවා.”Thunder Dog: The True Story of a Blind Man, His Guide Dog, and the Triumph of Trust at Ground Zero” නම් එම පොත, නිව් යෝර්ක් ටයිම්ස් වැඩියෙන්ම අලෙවි වූ පොතක් (New York Times Bestseller) බවට පත් වුණා.

රොසෙල් 2007 මාර්තු මාසයේදී මඟපෙන්වන සුනඛයෙකුගේ රාජකාරියෙන් විශ්‍රාම ගත්තා. ප්‍රතිශක්තිකරණයෙන් තැත්පත් පට්ටිකා අඩු වන රෝගයක් සඳහා ලබා දුන් ඖෂධ නිසා ඇගේ වකුගඩුවලට හානි වී තිබුණා. හින්ග්සන්ට නව මඟපෙන්වන සුනඛයෙකු පත් කළත්, රොසෙල් ඔහු සමඟ දිගටම ජීවත් වුණා. 2011 දී, ඇගේ බඩේ තුවාල ඇති බව වෛද්‍යවරයා සොයා ගැනීමෙන් දින දෙකකට පසුවයි ඇය සදහටම ලොව හැරගොස් තිබුණේ. හින්ග්සන් සහ ඔහුගේ බිරිඳ වන කරන් (Karen) විසින්, දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට, සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීම සඳහා”රොසෙල්ගේ සිහින පදනම” නමින් පුණ්‍යායතනයක් පිහිටුවමින් රොසෙල්ගේ වීරත්වය සදාතනික මතකයක් ලෙසින් තබන්නට කටයුතු කර තිබෙනවා.

World News

Send your contact Details Today