Latest News

නේපාලයේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම: විරෝධතා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නේපාලයේ සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමේ තීරණයට එරෙහි විරෝධතා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතරට වයස අවුරුදු 12ක දරුවෙකුද ඇතුළත්.

එමෙන්ම ඊයේ පස්වරුවේ, එරට ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රමේෂ් ලේඛක්ද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ඔහු සඳහන් කළේ ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් සිදුවුණු මරණ පිළිබඳව,තමන්ට සදාචාරාත්මක වගකීම ඇති බැවින් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

නේපාල රජය පසුගිය අගෝස්තු 28 වැනිදා, සියලුම සමාජ මාධ්‍ය ජාලාවලට, එරට නිල වශයෙන් ලියාපදිංචි වීමට සතියක කාලයක් ලබා දුන්නා.

නමුත් කාල සීමාව අවසන් වූ පසුවත් ඊට අනුගත නොවුණු සමාජ මාධ්‍ය ජාල 26ක් වහාම අවහිර කරන්නැයි, රජය, අන්තර්ජාල සේවා සපයන්නන්ට ලබාදුන් නියෝගයක් හේතුවෙන් රටපුර විරෝධතා ආරම්භ වුණා.

Facebook, Instagram, YouTube, සහ එක්ස් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා 26ක් මේ වන විට අවහිර කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

විරෝධතා පාලනය කිරීම සඳහා, කත්මන්ඩු අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට, ඇඳිරි නීතියද පැනවූවා.

කෙසේ නමුත් විරෝධතාකරුවන් එය නොතකා, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආශ්‍රිතව රැස් වීමත් සමග නගරයට හමුදාව කැඳවූ බව විදෙස් වාර්තාවල සඳහන්.

විරෝධතාකරුවන් පවසන්නේ, ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සිය භාෂණයේ නිදහස දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

සමාජ මාධ්‍ය ජාලා, රට තුළ ලියාපදංචි කිරීමට උත්සහ දරන්නේ, ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ ඔන්ලයින් වංචා මැඩපැවැත්වීම වෙනුවෙන් බව රජය පවසනවා.

World News

Send your contact Details Today