හිටපු ශ්‍රී ලංකා නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් රචිත ‘The Turning Point: The Naval Role in Sri Lanka’s War on LTTE Terrorism’ මතක සටහන් පොත, එක්සත් රාජධානියේ Amazon UK අන්තර්ජාල වේදිකාව ඔස්සේ අලෙවිය නතර කිරීම හේතුවෙන් මතභේදයට තුඩු දී තිබෙනවා.
මෙම තහනම අන්තර්ජාතික සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතිය (ITJP) විසින් එල්ල කරන ලද චෝදනා හේතුවෙන් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
ITJP විසින් Amazon UK වෙත යවන ලද ලිපියක දැක්වෙන්නේ, අද්මිරාල් කරන්නාගොඩ 2005-2009 කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ දඬුවම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවයි.
එක්සත් රාජධානි නීති යටතේ, එවැනි පුද්ගලයෙකුට රාජ්‍ය තුළ මූල්‍ය ප්‍රතිලාභ (රෝයල්ටි ඇතුළුව) ලබාදීම නීතිවිරෝධී වන බැවින්, මෙම පොත අලෙවි කිරීම එම නීති උල්ලංඝනය කළ හැකි බව ITJP පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව, Amazon UK විසින් 2025 සැප්තැම්බර් 01 වන දින මෙම පොත ඔවුන්ගේ වේදිකාවෙන් ඉවත් කළ බව සඳහන්.
මෙම පොත පෙන්ගුයින් රැන්ඩම් හවුස් ඉන්දියා විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, Amazon UK හි තහනමෙන් පසුව එය පෙන්ගුයින් ඉන්දියාගේ වෙබ් අඩවියෙන් ද ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත්, පෙන්ගුයින් ඉන්දියා විසින් මේ පිළිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.
ITJP චෝදනා කරන්නේ, කරන්නාගොඩගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව 2005-2009 යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ සිටි සිවිල් වැසියන්ට නාවික හමුදාව විසින් අනියම් ලෙස බෝම්බ හෙලීම සිදු කළ බවයි.
ආහාර හා ඖෂධ සැපයුම් ලබාදීම සීමා කළ සමුද්‍ර බාධකයක් පැනවූ බව, ත්‍රිකුණාමලයේ ගන් සයිට් (Gun Site) ලෙස හඳුන්වන රහස් වධකාගාර පවත්වාගෙන ගිය බව ද ඔවුන් චෝදනා කරනවා.
මීට අමතරව, ත්‍රිකුණාමලයේ තරුණයින් 11 දෙනෙකු අතුරුදන්වීම (Trinco 11) සම්බන්ධයෙන් ද කරන්නාගොඩට චෝදනා එල්ල වී ඇති අතර මෙම චෝදනා එක්සත් ජාතීන්ගේ විමර්ශනවලින් ද තහවුරු වී ඇති බවයි ITJP පවසන්නේ.
අද්මිරාල් කරන්නාගොඩ ප්‍රකාශ කර ඇත්තේ, LTTE ත්‍රස්තවාදය පරාජය කිරීමේදී නාවික හමුදාවේ භූමිකාව මෙම පොත හරහා ඉස්මතු කර ඇති බවත්, Amazon UK හි තහනම මඟින් එම සත්‍යයන් මර්දනය කළ නොහැකි බවයි.
ඔහු තවදුරටත් පවසන්නේ, ITJP විසින් එල්ල කරන චෝදනා ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් බවත්, LTTE සංවිධානයට බ්‍රිතාන්‍යයේ සහාය ලැබුණු බවයි.
ඔහුගේ පොතේ සිංහල පිටපතක් කලකට පෙර ප්‍රකාශයට පත් කර ඇති අතර, එය තවමත් වෙළඳපොළේ විකිණීමට තිබෙනවා.