ධර්ම හා ශාසන විරෝධී මතවාද ප්‍රවර්ධනය කිරීම සහ සංඝභේදයක් ඇති කිරීම යන චෝදනා මත, බදුලුගම්මන සුමනසාර හිමියන් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නෙරපා හැරීමට එම පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාව තීරණය කර තිබෙනවා.
ඒ සමඟම උන්වහන්සේ දැරූ ඓතිහාසික දිඹුලාගල නාගල රජමහා විහාරාධිපති ධුරයද අහෝසි කර තිබෙනවා.
මල්වතු මහා විහාරයේ සම්ප්‍රදායන්ට සහ ත්‍රිපිටක දේශනාවන්ට පටහැනිව, ‘බුදුන් වහන්සේ ලක්දිව උපන්’ බවට සාවද්‍ය මතයක් ප්‍රවර්ධනය කිරීම, විකෘති ධර්ම දේශනා කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර නැමැත්තාගේ මතවාද ප්‍රවර්ධනය කිරීම, සහ ‘සීහෙළ ගෞතම සිරි සම්බුද්ධ මහ නිකාය’ නමින් නව නිකායක් පිහිටුවාගෙන විනය විරෝධී ලෙස උපසම්පදා කර්ම සිදු කිරීම යන කරුණු මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.
මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී, ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය අගෝස්තු 4 වන දින රැස්වූ කාරක මහා සංඝ සභාවේ විශේෂ සැසිවාරයේදී මෙම තීරණවලට එළැඹි බවයි.
මෙම නෙරපා හැරීම ක්ෂණිකව ගත් තීරණයක් නොවන බවත්, මීට පෙරද සුමනසාර හිමියන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මල්වතු පාර්ශ්වය පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
2024 මැයි මස 4 වන දින උන්වහන්සේ දැරූ වෙල්ලස්ස බින්තැන්න ප්‍රධාන සංඝනායක පදවියෙන් නෙරපා ඇති අතර, 2024 අගෝස්තු 11 වන දින කාරක සභාව හමුවට කැඳවා, විනයානුකූලව කටයුතු කරන බවට ලිඛිත පොරොන්දුවක්ද ලබාගෙන තිබේ. එම පොරොන්දුව කඩ කරමින් ශාසන විරෝධී කටයුතුවල දිගින් දිගටම නිරත වීම මෙම අවසන් තීරණයට හේතු වී තිබෙනවා.
විනය පිටකයේ විධිවිධාන උල්ලංඝනය කරමින් සංඝභේදයක් ඇති කිරීම, මල්වතු මහා විහාරය අපකීර්තියට පත් කිරීම සහ චේතනාන්විතව ශාසන පරිහානියට කටයුතු කිරීම යන චෝදනා ද සුමනසාර හිමියන් වෙත එල්ල වී ඇති බව මල්වතු පාර්ශ්වය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.