අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ 20%ක තීරු බදු අද සිට බලාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
පසුගිය අප්‍රේල් 2 වැනිදා, අමෙරිකාව ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දක් ප්‍රකාශයට පත් කළා.
අනතුරුව එම අනුපාත ලිහිල් කරගැනීම සදහා, අමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ආණ්ඩුව සාකච්ඡා කළ අතර එම බදු ප්‍රතිශතය, 30% ක් දක්වා අඩු කරගැනීමට හැකි වුණා.
එම බදු ප්‍රතිශතය ද අඩු කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර අමෙරිකාව, ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය, 20% ක් දක්වා අඩු කළේ, එහි ප්‍රතිඵලයක් ලෙසයි.
මේ අතර අමෙරිකානු තීරු බදු හමුවේ අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමට යුරෝපීය, ආසියානු සහ අනෙකුත් ජාත්‍යන්තර වෙළඳපොළ නැගී එන අවස්ථා මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ.
එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, අමෙරිකානු තීරු බදු බලපෑමට මුහුණදීමට අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවයි.
අභියෝගකාරී කාල පරිච්ඡේදය තුළ බලපෑමට ලක්වූ අපනයනකරුවන්ට සහාය වීම සඳහා රජයේ මූල්‍ය උපාය මාර්ගය පිළිබඳව එහිදී අපනයනකරුවන් දැනුවත් කෙරුණා.
මේ අතර අමෙරිකාව ඉන්දියාවට අලුතින් පැනවූ 25%ක අමතර තීරුබදු අසාධාරණ බව ඉන්දියාව පවසනවා.
”මෙම ක්‍රියාමාර්ගය අසාධාරණ බව අපි නැවත අවධාරණය කරනාවා” යැයිද ”තම ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා” යනුවෙන්ද ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අමෙරිකාව ඉන්දියාවට අලුතින් තීරුබදු පැනවීම හමුවේ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.