පාකිස්තානයේ උතුරුදිගින් කාශ්මීර් කලාපය ආසන්නයේ පිහිටි ගිල්ගිට් බල්චිස්තාන් පළාතට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත්, එම පළාතේ ප්‍රදේශ 37කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දින කිහිපයක් පුරා පවතින ගංවතුර තත්ත්වය සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයිද, සංචාරකයන් 10 දෙනකු අතුරුදහන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
ගංවතුරට හසුවී වාහන 22ක් ගසාගෙන ගොස් ඇති බවත්, නිවාස 500ක් සහ පාලම් 27ක් විනාශ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.
පාකිස්තාන යුද හමුදාව සහ ආපදා කළමනාකරණ ඒකකය මේ වනවිට විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වනවා.
ගංවතුර තත්ත්වය හේතුවෙන් ගිල්ගිට් බල්ටිස්තාන් කලාපයට පාකිස්තාන රුපියල් බිලියන 20ක හානියක් සිදුවී ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති අතර, විදුලිය, මහාමාර්ග සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 440ක් මේ වනවිට වෙන් කර ඇතැයි ද සඳහන්.
ඉදිරි දිනවලදී වර්ෂාව අධික විය හැකි බවට අනාවැකි පළවී ඇති අතර, එම කලාපයේ කඳුකර පළාත්වල පදිංචිකරුවන්ට අවධානයෙන් යුතුව පසුවන ලෙස පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.