කළු මුහුද ආසන්නයේ පිහිටි රුසියානු වෙරළබඩ නගරයක් වන සොචී නුවරට එල්ල වූ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින්, නගරයේ පිහිටි දැවැන්ත තෙල් ගබඩාවක් ගිනිගෙන විනාශ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
වසර 2014 සීත සෘතු ඔලිම්පික් උලෙළ පැවති සංචාරක ගමනාන්තයක් වන සොචී නුවර, එම තෙල් ගබඩාවට එල්ලවූ ප්‍රහාරයෙන් පසු නගරයේ පිහිටි ගුවන් තොටුපොළ වසා දැමීමට බලධාරීන් පියවර ගත් බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
එම නගරය අයත් ක්‍රැස්නොඩා පළාතේ ආණ්ඩුකාර වෙනියමින් කොන්ඩ්රට්යෙව් ප්‍රකාශ කර ඇත්තේ තෙල් ගබඩාවේ ගින්න මැඬපැවැත්වීමට ගිනිනිවන භටයන් සියයකට අධික පිරිසක් දැඩි උත්සාහයක නිරතවන බවයි.
එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 7 දෙනකු තුවාල ලබා තිබෙන බව ද වාර්තා වනවා.
මේ අතර ඊයේ අලුයම වන විට ගතවූ අවසන් වූ පැය 24ක් ඇතුළත යුක්‍රේන ඩ්‍රෝන 274ක් බිම හෙළීමට රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය සමත්වූ බව එරට ටාස් පුවත් සේවය වාර්තා කළා.
දෙරට අතර යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා රුසියානු හමුදාව යුක්‍රේනයට අයත් ප්‍රහාරක ගුවන් යානා 664ක්, හෙලිකොප්ටර් 283ක්, ඩ්‍රෝන 74,460ක් සහ යුද ටැංකි 24,432ක් විනාශ කර තිබෙන බවයි “ද ටාස්” පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කළේ.