ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ සහ ණය ලබා දීමේ යෙදවුම් (apps) ව්‍යාප්ත වීම බරපතල මහජන වැදගත්කමක් ඇති ගැටලුවක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව ඒවා නියාමනය කිරීම සම්බන්ධයෙන් සියලුම ප්‍රාන්තවල ප්‍රතිචාර ඉල්ලා තිබෙනවා.
මෙම යෙදවුම් හේතුවෙන් බොහෝ ළමුන් සියදිවි නසාගෙන ඇති බව පවසමින් හයිද්‍රාබාද් හි ව්‍යාපාරිකයෙකු වන කේ. ඒ. පෝල් විසින් ගොනු කරන ලද මහජන පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පියවර ගෙන තිබෙනවා.
විනිසුරු සූර්යා කාන්ත් සහ ජොයිමාල්‍යා බග්චිගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනුණා.
එම යෙදවුම් අනුමත කිරීමෙන් ප්‍රසිද්ධ පුද්ගලයින් වළක්වන ලෙසත්, ඒවාට ප්‍රසිද්ධිය ලබා දීමෙන් මාධ්‍ය වළක්වන ලෙසත් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ඉල්ලා සිටියේ.
මෙම නඩුවට ප්‍රමුඛතාව ලබා දෙමින් අගෝස්තු 18 වන දින නැවත විභාගයට ගන්නා බවත්, ඊට පෙර පෙත්සමට කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙසත් විනිසුරු මඩුල්ල ප්‍රාන්තවලට දැනුම් දුන්නා.
පෙත්සම්කරු පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිමින් කියා සිටියේ, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් මෙම යෙදවුම් අනුමත කරන විට, ඔවුන්ව ආදර්ශ චරිත ලෙස සලකන තරුණ තරුණියන් ඒවා භාවිතයට පෙළඹෙන බවයි.
මීට ප්‍රතිචාර දක්වමින් විනිසුරු කාන්ත් එකඟ වූයේ, රජය එක් යෙදවුමක් තහනම් කළ විට, ඊළඟ දිනයේම වෙනත් නමකින් නමුත් එම පැතිකඩම සහිත වෙනත් යෙදවුමක් මතුවන බවයි.
මෙම අවස්ථාවේදී මධ්‍යම රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පෙන්වා දුන්නේ, මෙම යෙදවුම් ‘නිපුණතාව මත පදනම් වූ ක්‍රීඩා’ ද නැතහොත් ‘සූදු සහ ඔට්ටු ඇල්ලීමේ යෙදවුම්’ ද යන්න පිළිබඳව තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි.
එම නඩුවේ තීන්දුව මෙම පෙත්සමේ මතු කර ඇති කරුණුවලට සෘජුවම බලපානු ඇති බව ද ඔහු පැවසුවා.
මීට පෙර මැයි 23 වන දින, ඉන්දියන් ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුවාවෙන් ජනතාව ඔට්ටු ඇල්ලීමේ සහ සූදුවේ නිරත වන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබිබුණා.
පෙත්සම්කරු සිය පෙත්සම මගින් තවදුරටත් කියා සිටින්නේ මෙම ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම, මුදල් විශුද්ධිකරණය, හවාලා ගනුදෙනු සහ විදේශීය ආයතන සම්බන්ධ නීති විරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා මෙවලමක් බවට පත්ව ඇති බවයි.
මෙම නියාමනය නොකළ යෙදවුම් හේතුවෙන් ඉන්දියාව පුරා පවුල් දහස් ගණනක් ආර්ථික පාඩු විඳ ඇති බවත්, හයිද්‍රාබාද්, ඛාපට්නම් සහ බැංගලෝර් හි සයිබර් අපරාධ අංශ වාර්තා මගින් නීති විරෝධී ඔට්ටු ජාවාරම් හේතුවෙන් සියදිවි නසාගැනීම් රැසක් සිදුවී ඇති බව ඉස්මතු කර ඇති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.