2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රෙස්ලින් තරගයේ අවසන් වටයට තේරීපත් වූ ඉන්දියාවේ රෙස්ලින් ක්‍රීඩිකා විනේෂ් ෆෝගාට් තරගයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ඒ, කිලෝග්‍රෑම් 50 බර පන්තියේ රෙස්ලින් ඉසව්වට සහභාගී වීමේදී ඇයගේ බර ග්‍රෑම් 100කින් වැඩි වූ නිසයි.
විනේෂ් කිලෝග්‍රෑම් 53 කාණ්ඩයට තරඟ කරන නමුත්, පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ඇගේ බර කිලෝග්‍රෑම් 50 දක්වා අඩු කර තිබෙනවා.
මෙම පුවත මිලියන ගණනක ඉන්දියානුවන්ගේ හදවත් බිඳ දමා ඇති නමුත්, ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ඉන්දීය ඔලිම්පික් සංගමයෙන් ඉල්ලා ඇත්තේ ඇයගේ නුසුදුසුකමට එරෙහිව අභියාචනා කිරීමට කටයුතු කරන ලෙසයි.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉන්දීය ඔලිම්පික් සංගමය විසින් මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙනවා.
එමෙන්ම විනේෂ් ආහාර පාලනය කිරීම සහ දිවීම වැනි ක්‍රියාවන් සිදු කර ඇයගේ බර පාලනය කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වෙනවා.
ඉන්දීය නිලධාරීන්ද ඇය වෙනුවෙන් ඔලිම්පික් කමිටුවෙන් කාලයක් ඉල්ලා සිටියද එම උත්සාහය නිෂ්ඵල වී තිබෙනවා.
මේ අතර, ඔලිම්පික් ක්‍රීඩා උළෙලක රෙස්ලින් ක්‍රීඩා ඉසව්වක අවසන් මහා තරගයට පිවිසි පළමු ඉන්දීය ක්‍රීඩිකාව බවට පත්වීමෙන් විනේෂ් ඉතිහාසයට එක්වූ නමුත්, අවාසනාවන්ත ලෙස ඇයට එම අවස්ථාව අහිමිව තිබෙනවා.
විනේෂ් නුසුදුස්සකු වීම හේතුවෙන් ඇයට පැරිස් ක්‍රීඩා උළෙලේ කිසිඳු පදක්කමක් හිමි නොවනු ඇති අතර, ඇයගේ නුසුදුසුකම නිසා ඇයට හිස් අතින් ගෙදර යාමටයි සිදුව ඇත්තේ.