අමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදු ප්‍රතිශත ඉහළ දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණා.
මේ හේතුවෙන් විනිමය අනුපාත වෙනස්වීම නිසා ජපානයෙන් ආනයනය කරන වාහන මිල සියයට 5 ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙන බව වාහන ආනයනකරුවන් පවසනවා.
ඔවුන් පවසන්නේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් එකක වටිනාකම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා වැඩි මුදලක් වැය කිරීමට වාහන ආනයනකරුවන්ට සිදුවන බවයි.
විනිමය අනුපාත වෙනස්වීම් නිසා ජපානයේ වාහන වෙන්දේසි කරන ආයතන වාහන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
මෙම තත්ත්වය මත වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ තුන හමාරකින් ඉහළ ගොස් ඇති අතර, ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 35 ත් 40 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ජපානයෙන් සැපයුම් කිරීමට එරට වෙන්දේසි ආයතනවල වාහන නොමැති බව ද අනාවරණය වනවා.
මෙම අධික ඉල්ලුමද, ජපානයේ වෙන්දේසි ආයතනවලින් වාහන මිල ගණන් යම් පමණකින් ඉහළ දැමීමට බලපා තිබෙන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ පැවසුවේ වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට වාහන 5,000 ක් පමණ ජපානයෙන් ආනයනය කර තිබෙන අතර ඉන් වාහන 3,000 කට වැඩි සංඛ්‍යාවක් විකිණී අවසන් බවයි.
ආනයනික වාහන රේගුවෙන් නිදහස් කරගැනීමේ දී විශාල ප්‍රමාදයක් පවතින බවත්, මේ නිසා වැඩි වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී ඇති බවත් ඔහු පැවසුවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත දත්ත අනුව ඉකුත් සිකුරාදා (16 වැනිදා) ජපන් යෙන් එකක ගැණුම් අනුපාතිකය රුපියල් 2.0164 ක් වුණ අතර විකුණුම් අනුපාතිකය රුපියල් 2.0943 ක් වුණා.
එමෙන්ම එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතිකය රුපියල් 302.6561 ක් ලෙස සටහන් වුණා.