Latest News

“පුංචි කාලේ පින්තූර ගන්න කොට බයේ දුවපු මම තමයි අද නළුවෙක් වෙලා ඉන්නේ” – කමල් දේශප්‍රිය

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ක්‍රිකට් විස්තර කථනයෙහි වඩාත් ජනප්‍රිය වූ ඔහු අංගනා, චායා, දූවිලි සුළඟ, ඉසුරු සංග්‍රාමය, මල් දෙවැට, මන්දාරම් කතාවේ, මුහුණු පොත, පත්තිනි, පියවි, සිහින අරන් එන්න, ටීචර් අම්මා, වීමංසා, වාලුකා, වාසනා වේවා, මහා විරු පණ්ඩු, නිකිණි කුසුම්, දෙවැනි ඉනිම වැනි ටෙලි නාට්‍ය සහ සිරි දළදාගමනය, උලත් එකයි පිළත් එකයි, පෝරිසාදයා, බිම්බා දේවි හෙවත් යශෝදරා, නිදහසේ පියා ඩී. එස්., තානාපතිලාගේ ගෙදර, රුවන් තාරුකා වැනි සිනමා රංගනයන් හේතුවෙන් ද අතිශය ජනාදරයට පත්වන්නේ ය.

‍එහෙත් ඔහුගේ රංගාවතරණය සිදු වන්නේ වේදිකාවෙනි. ඔහු ප්‍රවීණ නිවේදක, රංග ශිල්පී, හඬ කැවීම් ශිල්පී කමල් දේශප්‍රිය යි. ඉතා ම දක්ෂ ගුවන්විදුලි හඬ රංගන ශිල්පි­‍නියක, චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වූ ඇග්නස් සිරිසේන සහ අතිශය ජනප්‍රිය වූ ගුවන්විදුලි නාට්‍ය රැසක් රචනා කළ ප්‍රවීණ ගුවන්විදුලි ශිල්පියකු මෙන්ම තිර පිටපත් රචකයකු, ගත් කතුවරයකු වූ ආනන්ද සිරිසේන යුවළගේ පුත්‍රයකු වූ කමල් දේශප්‍රිය මවුපිය උරුමයෙන් කලාවට පිවිසියේ පළමුව 1974 වසරේදී ගුවන්විදුලි ළමා පිටියෙනි. පසුව ළමා හඬ රංගන ශිල්පියෙක්, ජ්‍යෙෂ්ඨ හඬ රංගන ශිල්පියෙක් බවට පත්ව ‘ගුවන්විදුලි රඟ මඩල, වජිරා සහ හන්දියේ ගෙදර’ යන ගුවන්විදුලි නාට්‍යවල හඬ රංගනයෙහි යෙදුණේ ය. අදටත් ‘හන්දියේ ගෙදර’ ගුවන්විදුලි නාට්‍යයේ ඔහු හඬ රංගනය කළ ‘රන්හොටී’ චරිතය අතීත ශ්‍රාවක මතකයෙන් ගිලිහී නොමැත. ඔහු වේදිකාවට ගොඩ වන්නේ නිමල් ඒකනායකගේ ‘දිවසළු දිව මාළිගා’ වේදිකා නාට්‍යය රංගනයට එක් වෙමිනි. සුගතපාල ද සිල්වාගේ ‘මරාසාද්’ වේදිකා නාට්‍යයේ ‘ජාක් රූ’ නමැති චරිතය නිරූපණය කිරීමට ලැබීම ඔහු ලද භාග්‍යයකි.

“වේදිකාව කියන්නේ කොහොමටත් රංගන පාසලක්මයි. විශේෂයෙන් ම සුගතපාල ද සිල්වා මහත්මයා වේදිකාවේ ගුරුවරයෙක්මයි. එතුමාගේ නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපානවා කියන්නේ රංගනය පිළිබඳ සියලු ශිල්ප හැදෑරීමට ලැබෙන භාග්‍යයක්මයි. ‘මරාසාද්’ නාට්‍යයේ මම බොහෝ කාලයක් රඟපෑවා. වේදිකාව මත කුඩා බංකුවක දෑත් බැඳ වාඩි කරවා සෙසු චරිත රංගනයන්ට ප්‍රතිචාර දැක්වීම හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. කරන්න නොතිබුණු සියලු දේ සඳහා ප්‍රතිචාර දැක්වීමට සිදු වූයේ මුහුණෙන් පමණයි. එය කිසිසේත්ම පහසු කාර්යයක් වුණේ නැහැ. මුහුණේ දෑස්, දෙතොල්, කම්මුල් පමණක් නෙවෙයි සෑම මස් පිඬක්ම නහරයක් නහරයක් පාසා චලනය කරන්නට අවසානයේදී මට නොදැනීම සිදු වූ බව ටිකෙන් ටික මට දැනෙන්න පටන් ගත්තා. කොතරම් වදන් හරඹ කරන නිවේදකයෙක් වුවත් ඒ හැදෑරීම, ඒ පුහුණුව, ඒ රංග විලාසය ගැන විස්තර කරන්න මට වචන ප්‍රමාණවත් නැහැ. පසුව මම ‘ජෙනරාල්, දෙහිවල හන්දිය’ කියන වේදිකා නාට්‍යවලත් රඟපෑවා.”

බොහෝ අය වේදිකාවට පිවිසෙන්නේ පාසල තුළදී යි. නමුත් ඔහු කුඩා කාලයේ පටන්ම කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවත් කලා කටයුතුවලින් කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ නැත.

“පාසලේ පැවති විවිධ ප්‍රසංගයකදී එකම එක දෙබසක් තිබූ, එකම එක චරිතයක්, එකම එක නාට්‍යයක මම රඟපෑවා. ඒ හැර කිසි කලා කටයුත්තකට පාසලේදී සම්බන්ධ වෙලා නැහැ. විවිධ සංගම්වල, විවාද කණ්ඩායමේ හිටියා. නමුත් පාසලේ ලොකුවට ජනප්‍රිය වුණේ නැහැ. මම පාසල් කාලයේදීම ගුවන්විදුලියට සම්බන්ධ වුණත් පාසලේ කිසි කෙනෙක් ඒ ගැනවත් දැනගෙන හිටියේ නැහැ. මම හිතන්නේ ජනප්‍රිය නොවන්නට විශේෂ හේතුව තමයි මම පොඩි කාලේ කැමරාවට හරි බයයි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ජාතික හැඳුනුම්පතට ගත්ත ඡායාරූපය තමයි මට මතක හැටියට මගේ මුල් ම ඡායාරූපය වන්නේ. පුංචි කාලේ පින්තූර ගනිද්දී බයේ දුවනවා. එහෙම හිටපු මම තමයි අද ටෙලි නාට්‍යවලයි, සිනමාවෙයි මේ විදහට පෙනී සිටින්නේ.”

ඔහු රඟපෑ ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍ය නුදුරේදී අවසන් වීමට නියමිත නමුත් නවතම ටෙලි නාට්‍ය කිහිපයකත්, චිත්‍රපට කිහිපයකත් ඔහුගේ රංගනයන් ඉදිරියේදී දැක ගැනීමට ප්‍රේක්ෂකයින්ට අවකාශ සැලසෙනු ඇත.

“මම රඟ පෑ චිත්‍රපට තුනක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ අතර මහේෂ් මුණසිංහ අධ්‍යක්ෂණය කළ ‘සූර්යයා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ජනිත් වික්‍රමගේ රඟපානවා. මම එහි රඟපාන්නේ ඔහුගේ මාමා හැටියට. වැරදි මඟට යොමු වුණු තරුණයෙක් ඔහුගේ උත්සාහයෙන් යහ මඟට පිවිසෙන ආකාරය ඒ චිත්‍රප‍ටයේ අන්තර්ගත වෙනවා. තව විනෝෂා අධ්‍යක්ෂණය කළ ‘හෙලෝ ෆ්‍රොම් දි අදර් සයිඩ්’ කියන නවතම සිංහල චිත්‍රපයේත් මම ප්‍රධාන චරිතයේ පියා වන පොලිස් නිලධාරියකු ලෙස රඟපානවා. අනෙක් චිත්‍රපටයේ නම තවම නිශ්චිත නැහැ. ඉදිරියේදී මේ චිත්‍රපට තුන හරහා මගේ රංගනයන් දැකගත හැකි වෙනවා. ඒ වගේම අලුත් ටෙලි නාට්‍ය දෙකකත් රඟපාන්න අවස්ථාව ලැබී තිබෙනවා. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ‘සුසුම් රස්තියාදුව’ සහ තවත් ටෙලි නාට්‍යයක රංගනයෙන් දායක වෙනවා.”

බොහෝ කාලයක් කමල් දේශප්‍රිය නම් රංගන ශිල්පියා ප්‍රේක්ෂකයින්ට තරමක් දුරස් වූයේ ඔහු වෘත්තීය බැංකුකරුවකු නිසයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පෞද්ගලික බැංකුවක සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කලක් සේවය කර විශ්‍රාම ලබා ඇති හෙයින් මේ වනවිට ඔහුට සිය රංග ප්‍රාතිහාර්යයන් පෑමට නිදහසක් ලැබී තිබේ.

“මම නිරතුරුවම මොනයම් හෝ කාර්යයක නිරත වන නිසා විශ්‍රාම ගත්තා කියලා ජීවිතයේ පාළුවක් දැනෙන්නේ නැහැ. රැකියාව කළ කාලයේ තරම් දැඩි අවිවේකී බවකුත් දැන් නැහැ. මම රැකියාව කරන කාලෙත් සවස පහෙන් පසුව හඬකැවීම්, ක්‍රිකට් වැඩසටහන් ආදියට සම්බන්ධ වුණා. මම හඬකැවීම් කළ ‘රාමායනය’ නාට්‍යයේ ‘රාම කුමරුගේ’ චරිතය ඉතාම ජනප්‍රිය වුණා. ‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’ නාට්‍යයේ ‘සුද්ධෝදන රජුගේ චරිතය, ‘අධිර‍ජ ධර්මාශෝක’ නාට්‍යයේ ‘අධිරජ බින්දුසාර’ චරිතයත් මම හඬකැවීම් කළා. ඒවා බොහොම සාර්ථක වූ බවට ප්‍රතිචාර මට ලැබුණා. මෑතකදී රූපවාහිනියේ චීන නාට්‍යයක හඬකැවීම් කළා. මම රැකියාව කරන කාලේ රඟපෑම්වලට සම්බන්ධ වුණේ නැහැ. මොකද මගේ වෘත්තීය ජීවිතය බොහොම කාර්ය බහුල සහ වගකීම් සහගත වූ නිසා රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙන්න තරම් නිදහසක් මට තිබුණේ නැහැ. ඉලක්කම් සමඟ හරඹ කරද්දී බොහොම කල්පනාවෙන්, බොහොම සීරුවට ඒ කටයුතු කළ යුතු යි. එක තිතත්, බිංදුවක් එහා මෙහා වුණොත් විශාල අර්බුදයක් බවට එය පත් වෙන්න ඉඩ තිබුණා. එවැනි අසීරුතා නොවන්නට මම බොහොම කල්පනාවෙන් සහ වගකීමෙන් රැකියාව කළා. ඒ නිසා වෙන්න ඇති අද මට මානසික විවේකයකුත් දැනෙනවා. මේ කාලයේ මට ලැබෙන කලා කටයුතු විවේකී ව හොඳින් කරනවා.”

ක්‍රිකට් විස්තර කථනය සම්බන්ධයෙන් කමල් දේශප්‍රිය තුළ ඇති කුසලතාව ද වෙසෙසින් පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ක්‍රීඩා පිටියකට යාමට නොහැකි වන ක්‍රීඩා ලෝලියෙකුට ඔහුගේ විස්තර කථනය ඔස්සේ දෘශ්‍ය රූප මවන්නට ඔහු සමත්ය. එපමණක් නොව ක්‍රිකට් පිළිබඳ හදාරණ කෙනෙකුට ද ඔහුගේ විස්තරය ඵලදායි වන්නේ එහි ඇති ශාස්ත්‍රීය වපසරිය මැනවින් පැහැදිලි කරන හෙයිනි.

“මම ඇත්ත වශයෙන්ම මේ කාලයේ වැඩි වශයෙන් රූපවාහිනී මාධ්‍යයේ ක්‍රිකට් වැඩසටහන්වලට සම්බන්ධ වන්නේ ක්‍රිකට් තරග ආරම්භ වීමට පෙර පැවැත්වෙන සාකච්ඡාමය වැඩසටහන් සඳහාය. බොහෝ විට නිවේදකයකු වශයෙනුත් සම්බන්ධ වෙනවා. ගුවන්විදුලි මාධ්‍යයේ නම් ක්‍රිකට් සජීවී විස්තර කථනයට මම සම්බන්ධ වෙන්නේ ඉතාම කලාතුරකිනුයි. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩා පිටියට නොගොස් රූපවාහිනී තිරයක් දෙස බලාගෙන ක්‍රිකට් ක්‍රීඩාව විස්තර කිරීමට ඇරයුම් ලැබුණොත් මම ඒවාට යන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩා පිටියක සජීවී ලෙස තරග පැවැත්වෙන අතරතුර දී විස්තර කථනය කිරීම තමයි නිවැරදි සහ සාර්ථකත්වය වන්නේ. එවැනි විස්තර කථනයකදී ක්‍රීඩාව වර්ණ ගන්වන්න විස්තර කථකයාට හැකි වෙනවා. ගුවන්විදුලියෙන් ක්‍රිකට් විස්තර කිරීමේදී එයට සවන් දෙන ශ්‍රාවකයාට එම ක්‍රීඩා පිටියේ සිදුවන දේ දෙසවන් මතින් දෘශ්‍ය කරවීමට ගුවන්විදුලි ක්‍රිකට් විස්තර කථකයා දක්ෂ විය යුතුයි. ක්‍රීඩා පිටියකදී කැමරාවකට හසු නොවන බොහෝ දේ අපේ දෑස්වලට දැක ගන්න ලැබෙනවා. සමහර එවැනි සිදුවීම් අප විස්තර කරද්දී තමයි කැමරා ශිල්පීන් එහි රූපරාමු සොයා යන්නේ. ඇතැම්විට ඒවා දෘශ්‍ය නොවන අවස්ථාත් තියෙනවා. මේ ආකාරයෙන් සජීවී ක්‍රීඩා පිටියකදී දෑසින් දකින දේ රූපවාහිනී තිරයක් බලාගෙන විස්තර කරන්න බැහැ. ඒ නිසා මම ක්‍රීඩා පිටියකට නොගොස් විස්තර කථනය කරන්නේ නැහැ. එසේම සමහර සිදුවීම් සහ අවස්ථා ඇස් දෙකට පෙනි පෙනී නොපෙනුණා සේ විස්තර ෙනාකර සිටීමට සිදු වන අවස්ථාත් තියෙනවා. ඇතැම්විට ඒවා රූපයට හසුවී දෘශ්‍යගත වෙමින් තියෙනවා විය හැකියි. නමුත් අපි නිහඬ වෙනවා. මට මතකයි ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් සීසීසී ක්‍රීඩාංගණයේ පැවති අවස්ථාවක පකිස්තානු ක්‍රීඩකයෙකුට ප්‍රේක්ෂකාගාරය හූ කියන්න පෙලඹුණා. මෙම ක්‍රීඩකයාත් බොහෝ සේ කේන්ති ගන්නා කෙනෙක් නිසා ඔහුව දිගින් දිගටම ප්‍රේක්ෂකයින්ගේ උපහාසයට ලක් වුණා. අවසානයේ මේ ක්‍රීඩකයා දැවී ගියා. ඒ වෙලාවේ මුළු ප්‍රේක්ෂකාගාරයම එක හඬින් හූ කියන්න පටන් ගත්තා. ක්‍රීඩකයා දැඩි ලෙස කෝපයට පත් වෙලා ක්‍රිකට් පිත්තත් අතැතිව ප්‍රේක්ෂකයින්ට පහර දීම සඳහා වැටට උඩින් පැන්නා. ආරක්ෂක නිලධාරීන් එය වළක්වලා සිද්ධිය සමථ කළා. මේ සියල්ල දකිමින් සජීවී විස්තර කථනයේ නිරතව සිටියත් ඒ පිළිබඳ වචනයක්වත් මම කිව්වේ නැහැ. ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා කෝප ගැන්වීම සහ නොමඟට යොමු කරවන ආකාරයට නිවේදන කටයුතු සිදු කිරීම අපගේ වෘත්තීය සදාචාරයට පටහැණියි.”

ආනන්ද සිරිසේන නම් ඔහුගේ පියා ඉතා හොඳින් ගුවන්විදුලි නාට්‍ය හා තිර පිටපත් ලියූ කෙනෙකි. ඒ ආභාසය කමල් දේශප්‍රියට නැතුවා නොවේ. එසේ ම කමල් ඉතා හොඳින් කියවන කෙනෙකි. එහෙත් ඔහු තවමත් ලියන්නට ප්‍රමාද නොවේ දැ යි මට සිතුණි.

“ලියන්න මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මගේ තාත්තා හොඳට ලිව්ව කෙනෙක් නිසා ඒ ආභාසය මට තියෙනවා කියලා මම හොඳටම දන්නවා. ඒ නිසා ගුවන්විදුලි නාට්‍ය කිහිපයක් ලියන්න මම හිතාගෙන ඉන්නවා. ඉදිරියේදී ඒ කටයුතු මගේ අතින් සිදු වෙයි කියලා මම සිතනවා. සාමාන්‍යයෙන් මම දවසකට පිටු සියයක්වත් කියවනවා. නමුත් තවමත් එක තැනක ඉඳගෙන පිළිවෙළකට ලියන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉදිරියේදී ඒ සඳහා උත්සාහ කරනවා.”

කමල් දේශප්‍රිය පුතුන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකි. ආදරණීය බිරිඳ ශ්‍යාමලීය. ඇය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජකාරි කළ තැනැත්තියකි. මේ දෙදෙනාට මුණුබුරු, මිණිබිරියන් සිව් දෙනෙකි.

“අපේ බාල පුතා චතුර් කම්ෂා දේශප්‍රිය කලාවට සම්බන්ධයි. ඔහු කැමරා ශිල්පියෙක් වාගේම විවිධ නිර්මාණ ගීත ආදිය රූප රචනය කිරීම් කරනවා. ‘ඩයස්ගෙ නංගි ද’ ගීතයේ රූප නිර්මාණකරු ඔහුයි. ඒ වගේම එයා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීම් කරනවා. අපේ පුතාලා තුන්දෙනාගෙන් කලාවට යොමු වුණේ චූටි පුතා විතරයි. මගේ පවුලේ මට සහෝදර සහෝදරියෝ හය දෙනයි. කලාවට සම්බන්ධ වුණේ මම විතරයි. මගේ දරු පවුලේ පුතුන් තුන්දෙනා යි. කලාවට සම්බන්ධ වුණේ ඒ අතරින් එක්කෙනයි. ඉතින් මේ දේවල් දකිමින් මමත්, බිරිඳත් සාමයෙන්, සමගියෙන්, සමාදානයෙන්, සතුටින් ජීවිතය ගත කරනවා. ඒ අතරේ නැවතත් වේදිකාවට යන්න පුංචි බලාපොරොත්තුවක් හිතේ තියෙනවා. ඒ බලාපොරොත්තුව ඉටු වෙයි කියලා මම හිතනවා.”

World News

Send your contact Details Today