එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.
මෙම ආරක්ෂක වැඩසටහන සඳහා පොලිස් නිලධාරීන් 35,000කට වැඩි පිරිසක් යෙදවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළා.
විශේෂයෙන්, ජනතාව වැඩි වශයෙන් රැස්වන නගරවලට ආසන්න ප්‍රදේශවල සිවිල් ඇඳුමින් සැරසුණු බුද්ධි අංශ නිලධාරීන් ද යෙදවීමට කටයුතු කර තිබෙනවා.
ඊට අමතරව, කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රථවාහන රාජකාරි නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 6,000ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මේ අතර, උත්සව සමයේදී සිදු කළ විශේෂ වැටලීම්වලදී, අවුරුදු වෙළඳ ප්‍රවර්ධන කටයුතු පවත්වාගෙන යන වෙළෙඳුන් 36 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට පටහැනිව, පාරිභෝගිකයින් රැවටිලිකාර ආකාරයෙන් කටයුතු කළ වෙළෙඳුන්ට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
උත්සව සමය වෙනුවෙන්, දිවයින පුරා පවත්වන වෙළඳ ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැඩි අවධානයක් යොමු කරමින් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කළා.
ඒ අනුව, ඇඳුම්, පැළඳුම්, සහ විදුලි උපකරණ අලෙවිය සම්බන්ධ වෙළඳ ප්‍රවර්ධන කටයුතුවලට විශේෂ අවධානය යොමු කරමින් මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මේ අතර, අලුත් අවුරුදු සමයේ ගිනිකෙළි නිසා සිදුවන අනතුරු අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.
අලුත් අවුරුදු කාලය තුළ දරුවන් වැඩි වශයෙන් ගිනිකෙළි අනතුරුවලට ගොදුරු වන බැවින්, ගිනිකෙළි භාවිතයේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය පෙන්වා දුන්නා.