එදා සිනමාවෙන් පුංචි තිරයෙන් දුටු සුන්දර රුවක් හිමි ඇය අදටත් එලෙසින්ම සුන්දරව ජිවිතේ සැඳෑ කාලය ගත කරනවා. ඇය නමින් නිලන්ති විජේසිංහ. මේ දිනවල ඇයගේ ජිවිතේ ගැන ඇය සමඟ කළ කෙටි කතාබහයි මේ…
මේ කාලයේ දිගටම ලංකාවේ ද?
මෙහෙමයි, මම නිතරම යනවා සහ එනවා. මගේ පොඩි පුතා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්වල ඉන්නේ. ඒ නිසා පොඩි පුතාව බලලා පොඩි නිවාඩුවක් ගත කරලා එන්න එහෙ යනවා. ඒ එක්කම මගේ ලොකු පුතා ඉන්නේ ලංකාවේ. පුත්තු දෙන්නෙක් තමයි මට ඉන්නේ. ඒ දෙන්නම මාව හොඳින් බලාගන්නවා. මම ඉතින් දෙයියනේ කියලා මගේ ආගමේ වැඩ කටයුතු කරගෙන හැමෝම එක්කම සතුටින් සමාදානෙන් ඉන්නවා.
මේ කාලයේ කලා නිර්මාණ කරනවද?
නැහැ. නිර්මාණ කරන්නේ නැහැ කියන්නේ ඉස්සර කාලේ අපි හරි හරියට චිත්‍රපට සහ ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වුණා. ඇත්තටම මේ කාලයේත් නිර්මාණවලට ඇරයුම් ලැබෙනවා. නමුත් මගෙ තියෙනවා පොඩි ඉල්ලීම් වගයක්. ඒවා ලැබුණොත් මම යනවා. නැත්නම් මම යන්නේ නැහැ. දැන් රූපගත කිරීම් කරන්නේ ඉස්සර වගේ නෙවෙයිනේ. අද කාලේ රෑ වෙනකම් එක දිගටම ෂූූට් කරලා ආයෙම පාන්දර එන්න අපි පුරුදු වෙලා නැහැනේ. හැබැයි මට හොඳයි කියලා හිතෙන හොඳ නිර්මාණයක් ලැබුණොත් මම භාර ගන්නවා.
මෑතක සිනමාව වෙනුවෙන් කළ රඟපෑම වෙනුවෙන් ඇගයීමක් ලැබුණා නේද?
ඔව්. මම ඉස්සර රඟපෑ සුද්දිලාගේ කතාව කියන්නේ බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයක්. ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණයක්. පසුගිය 16 වනදා බන්දුල ගුණවර්ධන මහතාගේ උපන්දිනය දවසේ සම්මාන ප්‍රදානයක් සිදු වුණා. එහිදී මටත් දීපානි සම්මානයක් ලැබුණා සුද්දිලාගේ කතාව චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්.
අතීතය මතක් කළොත් චිත්‍රපට කීයක් වගේ කරලා තියෙනවාද?
මම සිනමාවට එන්නේ 1966දී. එදා මෙදා තුර සිනමා නිර්මාණ 30කට විතර සම්බන්ධ වෙලා තියෙනවා. 1970දී මම කසාද බැන්දා, කසාද බැඳලා මම කුරුණෑගලට ගියා. ඒ කාලයේ මම කිසිම රඟපෑමේ කටයුත්තක් කළේ නැහැ. මගේ මහත්තයාගේ දෙමාපියන් වලව් අය නිසා කැමති වුණේ නැහැ මම රඟපෑමේ නිරත වෙනවාට. පුදුම දුකකින් ඒ හැමදේම ඉවසන් හිටියා. ඊට පස්සේ මම ආයෙම අවුරුදු 13කට පස්සේ සිනමාවට එනවා. ඒ එන්නේ එච්.ඩී. ප්‍රේමරත්න මහතාගේ දෙවැනි ගමන චිත්‍රපටයෙන්. ඊට පස්සේ තමයි ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ සුද්දිලාගේ කතාවට සම්බන්ධ වුණේ. එතැනින් පස්සේ සංජය නිර්මාල් කරපු රෝස කැලේ සහ සමාරා චිත්‍රපටයට දායක වුණා.
ප්‍රථම සිනමාගමන සිදු වෙන්නේ කොහොමද?
ජී.ඩී.එල්. පෙරේරා මහතා මගේ පියාගේ හිතවතෙක්. එයාගේ ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රධාන රංගන ශිල්පිනියක් සොයමින් ඉන්න කාලේ අපේ තාත්තාට කියලා තියනවා, විජේ, මට දුවව දෙන්න මේ චරිතය වෙනුවෙන් ම කියලා. ඒ වෙනකොට මම උසස් පෙළ විභාගය ලියලා ගෙදර හිටියේ. අම්මා මුල ඉඳන්ම විරුද්ධ වුණා මම රඟපානවට. පසුව කොහොම හරි මට ටික කලකට රඟපෑම වෙනුවෙන් අම්මා අවසරය ලබා දුන්නා. ඊට පස්සේ තමයි මම ජී.ඩී.එල්. මහත්තයාගේ ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටයේ එදා සිටි ප්‍රවීණතම රංගධරයකු වූ ටෝනි රණසිංහයන් සමඟ ප්‍රධාන චරිතය නිරූපණය කළේ. ඒ මගේ ප්‍රථම සිනමා රංගනය.
පුංචි තිරයේ නිර්මාණ ගැනත් කතා කරමු?
කාලයක් ආයේ නිශ්ශබ්ද වෙලා ඉන්නකොට තමයි බර්ට්‍රම් නිහාල්ගේ කඩවර ටෙලි නාට්‍යයට කතා කළේ. එහි මම රඟපෑ ආනක්කාගේ චරිතයට හොඳම සහය නිළියට හිමි සම්මානය ලැබුණා. ‘ආනක්කා’ කියන්නේ අදටත් ප්‍රේක්ෂක මතකයේ සදාතනික වුණු චරිතයක්. ඒ වකවානුවේ පටන් ගත්ත මගේ දෙවැනි ගමනෙන් පුංචි තිරයේ අද වෙනකොට නාට්‍යය 110ක් විතර රඟපා තියෙනවා. පුංචි තිරය නිසා තමයි මම යම් සම්මානයක්, ඇගයීමක් මුලින්ම ලැබුවේ. ඒ ගැන සතුටක් තියනවා. දැන් නම් වෙලාවකට දුකත් හිතෙනවා.
ඒ ඇයි?
ඒ කියන්නේ අපි වගේ ජ්‍යෙෂ්ඨ නිළියන්ව දැන් ඉන්න පරම්පරාව අමතක කරලා තියෙන්නේ කියලා. නමුත් අදටත් ලැබුණොත් ඕනෙම චරිතයක් කරන්න පුළුවන්. හොඳ නිර්මාණයක් ලැබුණොත් දායක වෙනවා.
නමුත් ඔබ රංගන ශිල්පිනියක් වීම ගැන ඔබ තෘප්තිමත් නේද?
අනේ ඔව්. මට ඒ කාලේ හොඳ නිර්මාණ ලැබුණා. මම 1968 දී ලක් රූ රැජින වුණා. එතැනින් පස්සේ චිත්‍රපට තුන හතරක එක දිගටම රඟපාන්න ලැබුණා. ඊට පස්සේ මම විවාහ වුණා. හොඳ දරුවෝ දෙන්නෙක් ලැබුවා. හොඳ පවුල් ජීවිතයක් ගත කළා. අද වන විට මගේ සැමියා මිය ගියත් ඔහු මගේ කලා දිවියට එකතු කරපු ආලෝකය කිසිදා නොනිමෙන්නක් කියලත් කිව යුතුයි. ඒ එක්කම කියන්න ඕනේ මම පරම්පරා පහක් එක්ක වැඩ කරපු කෙනෙක්.
දරුවෝ කලාවට සම්බන්ධ නැහැ නේද?
නැහැ. හැබැයි ඒ දෙන්නා හැම වෙලාවේම කියන්නේ අම්මිට දායක වෙන්න පුළුවන් හොඳ නිර්මාණයක් නම් යන්න, නැත්නම් දුක් විඳින්න එපා කියලා.
අලුත් පරම්පරාව ගැන මොකද හිතෙන්නේ…?
ඉතාම දක්ෂයි. රංගනයට නර්තනයට ගායනයට ද හරිම දක්ෂයි. ඒක අගය කරන්න ඕනේ. ඒ එක්කම අලුත් පරම්පරාවට කියන්න ඕනේ තමන්ගේ දෙමාපියන්ව හොඳින් බලා ගන්න කියන එක. මොකද අපි යම් තැනක ඉන්නවා නම් ඒ ඉන්නේ දෙමාපියන් අපිට දුන්නු ගුරුහරුකම් නිසා.
ජිවිතේ ගැන මොකද හිතෙන්නේ…?
හරිම සුන්දරයි. මම අදටත් ලස්සනට අඳින්න කැමති කෙනෙක්. අද මගේ ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගෙවමින් පසුවෙනවා. අදටත් මට ලැබෙන රසිකයන්ගේ ආදරය නිසා නිරතුරුව ජීවිතය තවත් අර්ථවත් වෙනවා කියලයි මට දැනෙන්නේ. ඒ නිසා මම ඉතා සතුටින් ජීවත් වෙනවා.
ආයේ පොඩි පුතා බලන්න යන්නේ කවද්ද?
සැප්තැම්බර් වගේ යනවා. ඒ ගියාම මාස හයක් වගේ ඉඳලා එනවා.